ව්‍යවස්ථාවට හා නීතියට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හා සාමකාමීව ගැටළු විසඳාගනිමු – මාර්තු 12 ව්‍යාපාරයෙන් නිවේදනයක්

පසුගිය සතිය තුළ ශී‍්‍ර ලංකාවේ දේශපාලනයේ ඇතිවූ චලනයන් හේතු කොටගෙන රට තුළ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බව මාර්තු 12 ව්‍යාපාරයේ අදහස බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි. එහි කැඳවුම්කාර මණ්ඩලය විසින් අද නිකුත් කොට ඇති නිවේදනයක් මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ දශක ගණනාවක් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මැනවින් ක‍්‍රියාත්මක වූ රටක් ලෙස කලාපය තුළ යම් කීර්තියක් දිනා ඇති ශ‍්‍රී ලංකාව මෙවැනි අර්බුදකාරී අවස්ථාවක වහා කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව කැඳවා මෙකී ගැටළුව පාර්ලිමේන්තුව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විසඳාගැනීම බවයි.
එම ලිපිය මගින් මාර්තු 12 ව්‍යාපාරය වැඩිදුරටත් මෙසේ දක්වා ඇත.
එසේ නොවුණහොත් එය ජනතා පරමාධිපත්‍ය නොසළකා හැරීමකි. එමෙන්ම ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ද වර්ධනය විය හැකි අතර, මෙම තත්වය දිර්ඝව පැවතිය හොත් දේශපාලනිකව අස්ථාවරභාවයක් ඇති විය හැකිය. එබැවින් මාර්තු 12 ව්‍යාපාරය ගරු ජනාධිපතිවරයාගෙන්ද, ගරු කථානායකවරයාගෙන් හා සියලූ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා මෙම අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීමට ක‍්‍රියාකරන ලෙසයි. අගමැතිවරයා කවරෙකු වූවද පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට හා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පත්කර ගන්නා ලෙස මෙන්ම, ශ‍්‍රී ලංකාව දේශපාලන බල අරගලයක සිර නොකර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූලව කටයුතු කරන ලෙසය.
එමෙන්ම අප මේ රටේ ගරුකටයුතු ආගමික නායකයන්ගෙන්, විද්වතුන්ගෙන්, නීති විශාරදයන්ගෙන් ඇතුලූ අනෙකුත් වෘත්තීයවේදීන්ගෙන්, රාජ්‍ය නිලධාරින්ගෙන්, වෘත්තිය සමිති නායකයන්ගෙන් සහ සිවිල් සමාජ කි‍්‍රයාධරයින්ගෙන් ඉල්ලා සිටින්නේ , දේශපාලන කඳවුරු තුළ සිරනොවී නිදහස් හා මධ්‍යස්ථ මතධාරීන් ලෙස මෙම අර්බුදයේ සෑබෑ නීතිමය පසුබිම හා ගතහැකි විසඳුම් පිළිබඳව, දේශපාලන අධිකාරියට හා ජනතාවට නිවැරදි මඟ පෙන්වීමක් කරන ලෙසය.
පුරවැසියන් ලෙස අප මේ මොහොතේ ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. දේශපාලන නායකයින් තම බලය තහවුරු කර ගැනීම සඳහා ජන මතය නොසලකමින් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව, මුදලට, තනතුරු වලට හෝ ජනහිතකාමී නොවන පුද්ගලික හේතු මත, කඳවුරු අතර මාරුවීම් පිළිබඳව ඕනෑ තරම් සාක්ෂි සහ අත්දැකීම් ශ‍්‍රී ලාංකික අප සතුව ඇත. එබැවින් මේ මොහොතේ පුරවැසියෙකු ලෙස ඔබ වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත.
එහෙත් එවැනි දේශපාලන නායකයින්ගේ පෙළඹවීම් මත ඔබ අනතුරුදායක සහ සමාජ විරෝධි ක‍්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද ඔබ, ජීවිතය පරදුවට තබා අරගලයක යෙදුණද ඔබේ දේශපාලන නායකයා ඊළග මොහොතේ වෙනත් කඳවුරකින් මතු විය හැකිය. එනිසා ඔබ කුමන දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටියද, ඔබ විශ්වාස කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතය පිළිබඳව කුමන අරගලයක යෙදුණද එය සහමුලින්ම ප‍්‍රචණ්ඩත්වයෙන් තොර හා සාමකාමී ක‍්‍රියාමාර්ග තුළ සිදු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
මාර්තු 12 ව්‍යාපාරයේ කඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,
රෝහණ හෙට්ටිආරච්චි – පැෆ්රල් සංවිධානය, චාමින්ද රාජකරුණා, නිශාන්ත ප‍්‍රීතිරාඡ් – සර්වෝදය ශ‍්‍රමදාන සංගමය, ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය, සමාධානී කිරිවන්දෙණිය – සණස ව්‍යාපාරය, ප‍්‍රබෝධ චින්තක – රයිට්ස් නව් සාමුහිකය, අශෝක ඔබේසේකර, ශෂී ද මෙල් – ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා , අතාවුද ජයවර්ධන – විද්වත් වෘත්තීකයන්ගේ සංගමය, හේමන්ති ගුණසේකර – ශ‍්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය, දයා හේරත් – ලක්බිමේ මවුවරු සහ දියණියෝ, සමන් හමන්ගොඩ – පැල්ට‍්‍රා සංවිධානය, මංජුල ගජනායක – මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විමල් ප‍්‍රනාන්දු – මානව හිමිකම් සුරකීමේ සංවිධානය, තිස්ස විජේතුංග, ආරියපාල ගමගේ – රාජ්‍ය නොවන සංවිධාන ජාතික ක‍්‍රියාකාරී පෙරමුණ, නිතිඥ ජගත් ලියනාරච්චි

LEAVE A REPLY