මහජන වේදිකාවට අපේ අපේක්ෂකයාගේ පැමිණීම ස්ථිරයි – ජවිපෙ ප්‍රධාන ලේකම් කියයි

මාර්තු 12 ව්‍යාපාරය ඒෆ්‍රියල් තරුණ ජාලය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන මහජන වේදිකාව – ජනාධිපති අපේක්ෂක සංවාදය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ සහභාගීත්වය ස්ථිර බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූයේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජිකයින් පිරිසක් සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

එහිදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා පෙන්වාදුන්නේ ජනාධිපති ධූරය වෙනුවෙන් තරඟ වදිනු ලබන අපේක්ෂකයින් එකම වේදිකාවකදී තමන් රට ගොඩ නැගීමට අදහස් කරන ස්ථාවරය ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අගය කල හැකි කාර්යයක් බවයි. එමෙන්ම එය දියුණු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තබන සාධනීය පියවරක් වශයෙන් සඳහන් කල හැකි බවත් රටේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබෙන වට පිටාවක මෙම ප්‍රයත්නය ඉතා වටිනා එකක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද දේශපාලන ප්‍රතිපත්ති කතාකිරීම පසෙකලා දේශපාලන ඕපාදූප කතාකරන අපහාස කරන අර්බුධ පමණක් ගැනම කතාකරන වට පිටාවක් රට තුළ පවතින බවත් ප්‍රතිත්තිමය සංවාදයන්ට රට තුළ ඇති ඉඩ කඩ ඉතාම අල්ප බවත් මෙවැනි අවස්ථා නිර්මාණය කරදීම තුළින් රටේ ජනතාවට ඒ ඒ අපේක්ෂකයාට රට දියුණු කිරීම සඳහා තිබෙන හැකියාව මෙන්ම දැනුම පිළිබඳව කිසියම් අදහස් ලබාගත හැකි වන බවත් ටිල්වින් සිල්වා මහතා තවදුරටත් සඳහන් කර සිටියේය.

මෙම හමුව සඳහා මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරමින් ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, සමන් හමන්ගොඩ, රවීන්ද්‍ර සිල්වා, රෝහණ හෙට්ටිආරච්චි හා හේමන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

LEAVE A REPLY