මහජන නියෝජිතයින්ගේ වගකීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙනවා – මාර්තු 12 ව්‍යාපාරය

මහජන නියෝජිතයින් සිය වගකීම අවබෝධකොට නොගෙන ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ඨවන ආකාරයට ක්‍රියා නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

කොළඹ සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී අද පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් එහි මෙහෙයුම් කමිටු සාමාජික පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවයන් තවත් දශක ගණනාවක් එහා කාලයක් පිළිබඳ දැක්මකින් යුතුව තීන්දු තීරණ ගැනීම මහජන නියෝජිතයෙකුගේ වගකීම බවයි.

එක්දිනක් පාර්ලිමේන්තු සභාවාරයක් පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පමණ මුදලක් වැයවන බවත් මන්ත්‍රීවරු සභාවට පැමිණියද නොපැමිණියද මෙම මුදල වියදම් වන බවද ඒ සඳහා වැයකරනු ලබන්නේ රටේ මහජනතාවගේ බදු මුදල් බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදුන් අතර දෛනිකව රටේ බදු මුදල් ඉහළ යාම සම්බන්ධයෙන් කතාබහක් ඇතිව තිබෙන වටපිටාවක ජනතා බදු මුදල් වැයකොට එහි නිසි ප්‍රතිලාභ ජනතාවට ලබාදෙනවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවද තවදුරටත් පැවසීය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් 455 ක් හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් 8535 ක් වශයෙන් මන්ත්‍රීවරුන් 9215 ක් මහජනතාව නියෝජනය කිරීමට සිටින බවත් ඔවුන් සිය වගකීම් නිසිපරිදි හඳුනාගනිමින් කටයුතු කරන්නේ නම් රට සුඛිත මුදිත කල හැකි බවත් නමුත් අවාසනාව වී ඇත්තේ ඔවුන් එයාකාරයෙන් කටයුතු නොකිරීම බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනෙක් නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට දායකවී ඇත්දැයි හොඳින් විමසා බැලුවහොත් මන්ත්‍රීවරුන් 25 ක් 30 ක පමණ පිරිසකගෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුරෙන බවට පැහැදිලිවම පසක්වන බවත් ඔහු එහිදී තවදුරටත් පෙන්වාදුන්නේය.

එම මාධ්‍යය හමුවට එක්වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පෙන්වාදුන‍්නේ අසමත් පාර්ලිමේන්තුවක් අභියස දිවිගෙවෙන අලස පුරවැසියන් බවට ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති බවයි.

මේ වන විට මාර්තු 12 ව්‍යාපාරය වශයෙන් මාර්තු 12 ව්‍යාපාරයේ පිරිසිදු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ නියෝජිතයින් හට පාර්ලිමේන්තු විවාද සඳහා අවශ්‍ය වන තොරතුරු වෙනුවෙන් පර්යේෂණ සහාය ලබාදීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කොට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය රාජ්‍ය භාණ්ඩාගාරය භක්ෂණය කරන පාෂාණ භූතයන් බවට හැඳින්විය හැකි බවත් ගජනායක මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම වසර ගණනාවක සිට මාර්තු 12 ව්‍යාපාරය මෙම තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ කතිකාවන් ඇතිකොට ඇති බවත් බොහෝ මහජන නියෝජිතයින් ජනතා හිතවාදී බවකින් යුක්තව කටයුතු කරන බවට පෙනෙන්නට නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාර්යභාරය නිසිලෙස සිදුනොවන්නේ නම් රටේ ආගමික සංස්ථාව මූලිකව නැගී සිටීම තුළින් එය මැඩපැවැත්විය හැකි බවයි. තවද ආගමික සංස්ථාව රටේ පැවතිය යුත්තේ සියලු ස්ථරයන්ට ඉහළින් බවත් ගජනායක මහතා එහිදී අවධා‍රණය කලේය.

එම මාධ්‍යය හමුව ඇමතූ විද්වත් වෘත්තිකයින්ගේ සංධානයේ ප්‍රධානී අතාවුද ජයවර්ධන මහතා පෙන්වාදුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි නිසි වටිනාකම ජනතාවගෙන් බොහෝ පිරිසක් තවමත් තේරුම් නොගෙන ඇති බවයි.

LEAVE A REPLY