පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද?
සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා සහ මහ නගර සභා කියන ක්‍රමයයි. එහිදී හැම ආයතනයකටම කොට්ඨාශ වෙන් කරලා ඒ කොට්ඨාශවලින් බහුතරය ගන්න කෙනා තමයි පත් වුණේ. නමුත් 1970 න් පස්සෙ එවැනි ඡන්දයක් පවත්වලා නැහැ.
1970 න් පස්සේ ඡන්ද ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ 1988 දි සංශෝධනයක් ගෙන එනවා මනාප ක්‍රමයක් හඳුන්වා දෙමින්. මේ ක්‍රමයෙදි බිහි වුණේ පළාත් පාලන සභාපතිවරයාගේ පාලනයට යටත් වුණ ආයතනයක් බව අපිට පේනවා. යම් මුදලක් ආයෝජනය කරලා, දිස්ත්‍රික්කය පුරාම ඡන්ද ප්‍රචාරණය සිදු කරලා ඔවුන් වැඩිම මනාප ගන්නවා. ඒ මනාප ගැනීම නිසා ඒ අයට පළාත් පාලන ආයතනයේ බලය හිමිවෙනවා. ඒ බලය පාවිච්චි කරලා පළාත් පාලන ආයතනයේ ටෙන්ඩර් ආදී සියලු දේවල් ඒ පුද්ගලයාට මෙහෙයවන්න පුළුවන්. එමඟින් පළාත් පාලන ආයතන රජයේ මුදල් වියදම් කරන ආයතනයක් බවට සහ දේශපාලනඥයෝ මුදල් හම්බ කරන ආයතනයක් බවට පත් වුණා. මුල්කාලයේදී දේශපාලනය කරන අයට කොන්ත්‍රාත්කරුවො උදව් කර එමඟින් කොන්ත්‍රාත් ලබා ගත්තා. පසුකාලීනව කොන්ත්‍රාත්කරුවම දේශපාලනය කරන්න පටන් ගත් නිසා මේ දේශපාලකයෝ ගම්වල කොන්ත්‍රාත්කරුවො, මුදල් උපයන්නෝ, පගා ගහන්නෝ බවට පත්වුණා. පසුගිය කාලයේදී මේ නියෝජිතයන්ගේ නම් ගම්බද ප්‍රදේශවල නොයෙකුත් මිනීමැරුම්, මංකොල්ලකෑම්, දූෂණ, ස්ත්‍රී දූෂණ හා වංචා ආදියටත් ඈදුණා. නූරිවත්ත සභාපතිවරයා මිනීමැරුම් චෝදනාවකට ලක් වෙලා තියෙනවා. තවත් සභාපතිවරයෙක් මිනීමැරුම් චෝදනාවලට හිරේ ගිහින් තියෙනවා. තංගල්ලෙ සභාපතිවරයෙක් මිනීමැරුමක් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් හිරේ ගිහින් තියෙනවා. තව සභාපතිවරයෙක් බාල වයස් ගැහැනු දරුවෙක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිරේ ගිහින් තියෙනවා. මීට අමතරම බොරළු කැපීම, පස් කැපීම, අල්ලස්, වංචා දූෂණවලට සම්බන්ධ අය විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සියලු දෙනා ගැනම නෙවෙයි මම කියන්නේ, නමුත් බහුතරයක් අය පවත්වාගෙන ගියේ එවැනි පළාත් පාලන ක්‍රමයක්.
ඒ අය කොච්චර බලවත්ද කියනව නම් තමන්ගේ ප්‍රදේශයේ පොලිසිය, පාසල වගේ රාජ්‍ය ආයතන කෙළින්ම පාලනය කරන්න පුළුවන් මට්ටමට ඔවුන් පත් වුණා. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල මේ තත්ත්වය දරුණුවට සිදු වුණා. නූරිවත්ත වගේ වතු කීයක් තියෙනවද කියල අපි දන්නේ නැහැ.
නිවැරදි ක්‍රමයට නම් කල් ඉකුත් වුණාම නම් ඡන්දයක් පවත්වන්න ඕන. සියලු පක්ෂ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න එකඟ වෙලා තිබුණත් පසුගිය ආණ්ඩුව සීමා නීර්ණය නියමිත ආකාරයට සිදු නොකිරීම නිසා හා ඔවුන්ගේ අත්තනෝමතික බලය ලබා ගැනීමේ ආශාවන් මත ඔවුන් ඡන්ද ක්‍රමය වෙනස් කර ඡන්දය පැවැත්වුවේ නැහැ.
ඉන් පසුව 2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්ඩුව බලයට පත් වුණා. යහපාලනයක් ගෙන ඒමට සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණයක් ඇති කළා. එවැනි වෙනසක් සිදු කරන්න අවශ්‍ය මූලික ක්ෂේත්‍රයක් තමයි පළාත් පාලන ක්‍රමය. ඒ අනුව දැනටම සම්මත වෙලා තියෙන නීතිය මත සීමා නීර්ණය අලුතින් කිරීම සඳහා සර්ව පාක්ෂික කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවට නොයෙක් දුක් ගැනවිලි එනවා. ඒ දුක්ගැනවිලි විමසා බලමින් සකස් කරන වාර්තාව පිට කළාට පසුව තමයි ඡන්දය පවත්වන්න වෙන්නේ. ඒ නිසයි ඡන්දය කල් යන්නේ. ඡන්දය පරක්කු වීම ප්‍රශ්නයක් වුණත් මේ වාගේ ඡන්ද ක්‍රමයක් යටතේ ඡන්දය පවත්වලා වංචා දූෂණ වැඩි කරවනවට වඩා හොඳයි නිවැරදි ක්‍රමයට ඡන්දය පවත්වන එක.
කලින් තිබුණු ක්‍රමය හා ඉදිරියේදී ඡන්දය පැවැත්වීමට නියමිත ක්‍රමය අතර වෙනස පැහැදිලි කළොත්,
මුලින්ම තිබුණ ක්‍රමය සරලයි. අදාළ ඡන්ද බල ප්‍රදේශය තුළ ඡන්ද කොට්ඨාශය වුණේ ගම. ඒ ඡන්ද කොට්ඨාශය තුළ ඉන්න ජනප්‍රිය කෙනෙකුට පුළුවන් ඡන්දය ඉල්ලලා දිනන්න. පක්ෂයට ඒ තරම් වටිනාකමක් නැහැ. ගමේ ඉන්න ධනවතුන්ට, බලවතුන්ට එරෙහිව ගමේ ජනප්‍රිය තරුණ අය ඡන්දය ඉල්ලනවා. මේ ක්‍රමයෙ තිබුණ දුර්වලතාවය තමයි සමස්ත ඡන්දයට සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ. බහුතර ඡන්දය ගත්ත කෙනා පත් වෙනවා. නමුත් ඡන්දයෙන් පරදින අයට කිසිම නියෝජනයක් ලැබෙන්නේ නැහැ. එතකොට පැරදුණු ඡන්ද සියල්ලම අපතේ යනවා. ඒ ක්‍රමයට වඩා සාධාරණ ක්‍රමයක් විදියටයි සමානුපාතික නියෝජන ක්‍රමය ගෙනාවේ. ඒකට හේතුව ඒ ක්‍රමයෙදි හැම ඡන්දයකටම වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම ඡන්ද දායකයාට තෝරා ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපේක්ෂකයෝ කීප දෙනෙක් අතරින් තුන් දෙනෙකුට තමාගේ ඡන්දය ලබා දෙන්න පුළුවන්. නමුත් ඒකෙ තිබුණ ප්‍රශ්නය තමයි ගමට නියෝජනයක් නැති වීම. අලුතින් ආපු ක්‍රමය ඇත්ත වශයෙන්ම ප්‍රශස්තම ක්‍රමයක් නෙවෙයි. ඒකෙත් අඩුපාඩු තියෙනවා. නමුත් තිබුණු ක්‍රමයට වඩා මේක හොඳයි කියන්න හේතු තියෙනවා. මේ නව ක්‍රමයෙදි කොට්ඨාශ ක්‍රමය නැවත එනවා. 70% ක් කොට්ඨාශ ක්‍රමයෙන් නියෝජිතයෝ පත් කරනවා. ඒ ක්‍රමයෙන් පිරිසක් තෝරාගත් පසුව පරදින අයගෙ ඡන්ද වෙනම ගණනය කිරීමක් සිදු කරනවා. ඒ අනුව සමානුපාතික ක්‍රමයක් මත පැරදුණු අයගෙන් 30% ක් පත් වෙනවා. මෙහෙම ක්‍රමයක් තිබීමෙන් සුළු පක්ෂවලටත් නියෝජනයක් ලැබෙනවා. ඊට අමතරව මේ ආණ්ඩුවට පත්වුණාට පසුව කාන්තා නියෝජනය වෙනුවෙන් තවත් ප්‍රතිසංස්කරණයක් ගෙනාවා. ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සහතික කිරීම වෙනුවෙන් සියයට 25 ක කෝටා එකක් ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. මුළු සංඛ්‍යාවට තවත් සියයට 25 ක් ඒ අනුව එකතු වුණා. ඒ නිසා මේ ක්‍රමය සරල බහුතර හා සමානුපාතික නියෝජන ක්‍රමවල එකතුවකින් සකස් වුණ, කාන්තා නියෝජනයක් සහිත වඩා දියුණු ක්‍රමයක්. මේ සඳහා සාධාරණ ලෙස සිදු කරන සීමා නීර්ණයක් ඉතාම වැදගත්. ඒ නිසයි මේ ඡන්දය කල් යෑම අපිට සාධාරණීකරණය කරන්න වෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා මේ නව ඡන්ද ක්‍රමය ද්විපක්ෂ ක්‍රමයකට රට තල්ලු කරනවා කියලා.
මොන ඡන්ද ක්‍රමයක් ආවත් 100% කාවවත් තෘප්තිමත් කරන්න බැහැ. ඕනෑම ඡන්ද ක්‍රමයක් යටතේ කවුරුන් හෝ අසාධාරණයට ලක් විය හැකියි. නමුත් අපි ප්‍රමුඛතාවය දිය යුත්තේ ඡන්ද දායකයාගේ මතය නියෝජනය වනවාද යන කාරණයටයි. යම් පක්ෂයක් සුළු පක්ෂයක් වෙන්නෙම ඡන්ද දායකයා එම පක්ෂෙට ඡන්දය ලබා නොදෙන නිසානේ. යම් පක්ෂයක් සුළු පක්ෂයක් නම් එයාලා උත්සාහ කරන්න ඕන මහ පක්ෂයක් වෙන්නයි. කලින් තිබුණ ක්‍රමයෙදි කොහොමත් ඒ වගේ පක්ෂවලට නියෝජනයක් නැහැ. සමානුපාතික නියෝජන ක්‍රමය සමඟයි ඒ වරප්‍රසාදෙ ලැබුණෙ. මේක කලින් ආණ්ඩුවෙන් සම්මත කරපු නීතියක්. මේකෙදි සුළු පක්ෂවලට අසාධාරණයක් වෙන්න පුළුවන්, මොකද අනුපාත ක්‍රමය යටතේ එයාලට සමස්ත ඡන්දයෙන් අනුපාතයක් ලැබුණා, නමුත් දැන් එයාලා 30% ක් වෙන පරාජිත ඡන්ද ටිකෙනුයි එන්න ඕන. දේශපාලකයා නිර්මාණශීලියි නම් යම් කිසි ආකාරයකට සන්ධානගත වෙලා දේශපාලනය කරන්න ඔවුන්ට පුළුවන් වෙනවා. පළාත් පාලන ආයතනවලත් ඒ විදියට සන්ධානගත වෙලා ඡන්ද ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නිතරඟ ගිවිසුම්වලට යන්නත් පුළුවනි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ වෙනත් පක්ෂයකට ඡන්ද නැති වෙනවා කියලා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම විසඳුමක් නෙවෙයි.
මේ නව ඡන්ද ක්‍රමය ගැන පොදු ජනතාව දැනුවත්ද? ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවද?
අවුරුදු 50 කට කිට්ටු කාලයක් නොතිබුණ ඡන්ද ක්‍රමයක් තමයි මේ හඳුන්වා දෙන්නේ. 1970 න් පස්සේ කොට්ඨාශ ක්‍රමය තිබිලා නැහැ. නමුත් ලංකාවේ සාක්ෂරතාවය ඉහළයි සහ දේශපාලනය ගැන මිනිස්සුන්ට උනන්දුවක් තියෙනවා. ඒ වගේම ඡන්දයකදි මාධ්‍ය ඡන්දය ගැන උනන්දු වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක මිනිස්සුන්ට සංකීර්ණ දෙයක් වෙන්නෙ නැහැ. අනිත් කාරණය නව ක්‍රමය තියෙන ක්‍රමයටත් වඩා සරල වෙනවා. කලින් ක්‍රමයෙදි පක්ෂයට ඡන්දයක් ගහලා නැවත මනාපත් ලකුණු කරන්න තියෙනවා. ඉදිරියෙදි තියෙන්නේ පක්ෂයට පමණක් ඡන්දය ලබා දෙන්නයි. ඒක ඉතා සරල වගේම මිනිස්සුන්ට ඉතා සමීප ක්‍රමයක් බවට පත් වේවි කියන එකයි මගේ විශ්වාසය.
මේ මොහොතේ ඡන්දයක් පැවැත්වුවහොත් ආණ්ඩුව පරාජය වෙයි කියන බයෙන් ඡන්දය කල් දමන බවට ජනතාව චෝදනා කරනවා. ඇත්තටම ඒකද හේතුව?
ජනතාව ඡන්දයක් ඉල්ලා සිටිනවා කියන කතාව මම පිළිගන්නේ නැහැ. මේක ඇත්තටම මාධ්‍යයෙන් හදපු අදහසක්. ඡන්දයක් නැත්නම් මාධ්‍යයට දුවන්න අමාරුයි. පසුගිය කාලය පුරා මාධ්‍ය දිව්වේ දිගටම ඡන්දවල පිහිටෙන්. ඒ නිසා ඡන්දයක් නැති වුණාම මාධ්‍යවලට උණ වගේ. ඡන්දයක් නැතුව දේශපාලන සාකච්ඡා, වාද විවාද ආදිය මාධ්‍යවලට පවත්වාගෙන යන්න බැහැ. අනෙක් කාරණය ඡන්දය මාධ්‍යයට ඉල්ලමක්. අපේ රටේ ඡන්ද නීතිය අනුව පෝස්ටර් සහ පත්‍රිකා මඟින් අපේක්ෂකයාව ප්‍රවර්ධනය කරන්න බැහැ. නමුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න බැහැ කියල නීතියක් නැහැ. ඒ අනුව විශාල අපේක්ෂකයෝ ප්‍රමාණයක් ඡන්දයකදි මාධ්‍ය හරහා ප්‍රචාරණ කටයුතු සිදු කරනවා. ඒ නිසයි මාධ්‍යවලට ඡන්දයක් ඇස්තමේන්තුගත ආදායමක් වෙන්නෙ. මාධ්‍යවලට දුවන්න අවශ්‍ය ආදායම හා රේටින්ස් උපයගන්න දේශපාලන උණුසුමක් අත්‍යවශ්‍යයි. ඔබ මගෙන් ප්‍රශ්නය ඇහුවෙම ඡන්දය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය කියන දේට බාධාවක් නේද කියලයි. කතිකාව අනුව මම ඒකට උත්තර දුන්න නම් මම කියන්න ඕන ‘ඔව් ඒක අසාධාරණයි’ කියලා. නමුත් මම කියන එක ටිකක් වෙනස්. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් කියන්න පුළුවන් ඒක ආණ්ඩුවට කඬේ යන්න දෙන පිළිතුරක් කියලා. නමුත් මම කියන්නේ මේක සාධාරණ තර්කයක් එක්කයි. ඇත්තම කතාව මහජනතාවගෙන් නෙවෙයි පාක්ෂිකයන්ගෙන් යම් ඉල්ලීමක් තියෙනවා ඡන්දය පවත්වන්න කියලා.
දැනට පවතින ආණ්ඩුව පරාජයට පත් වෙයි කියන බියෙන් ඡන්දය පවත්වන්නේ නැහැ කියනව නම් ඒක මිථ්‍යාවක් කියලයි මම කියන්නේ. සීමා නීර්ණය කියන්නේ ඇත්ත ප්‍රශ්නයක්. කලින් වතාවෙ සීමා නීර්ණය නිවැරදි ආකාරයට කළා නම් නැවත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආණ්ඩුව බයයි කියන කතාව කවුරුහරි කියනවා නම්, මේ ආණ්ඩුවට ජන වරම් දෙකක් තියෙනවා. මේ ආණ්ඩුවට 2015 ජනවාරි මාසයේ සුවිශාල ජන වරමක් ලැබුණා. ඊට පසු මාස 07කින් තිබුණ මහ මැතිවරණයෙනුත් මේ ආණ්ඩුව ජය ගන්නවා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා සම්මුති ආණ්ඩුවක් හදල තියෙනවා. ඒ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට කිට්ටු බලයක් තියෙනවා සහ අයවැය සහ අනෙක් සියලුම පනත් සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම කවුරුත් දන්නවා බලයේ තියෙන පක්ෂයට තමයි පළාත් පාලන ආයතනවලත් බොහෝ දුරට ඡන්දය දෙන්නේ කියලා. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවට බය වෙන්න හේතුවක් තියෙනවා කියල මට නම් පේන්නෙ නැහැ. ඒ වගේම මිනිස්සු කියනවනෙ මහින්ද රාජපක්ෂ නැවත බලයට එනවට ආණ්ඩුව බයයි කියලත්. මහින්ද රාජපක්ෂට ආයෙ ජනාධිපති වෙන්න ලංකාවෙ ව්‍යවස්ථාව අනුව කිසිම හැකියාවක් නැහැ. එයාට උපරිම වශයෙන් ගන්න පුළුවන් බලය වන්නේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රී’ කියන ධූරයයි. එයා නියෝජනය කරන පක්ෂයේ බහුතරයක් ගත්තත් ඒ පක්ෂයේ නායකයා ජනාධිපති. ජනාධිපතිට අවශ්‍ය කෙනා තමයි අගමැති ලෙස පත් කරන්නේ. ඒ නිසා ආණ්ඩුවට කිසිම බයක් වෙන්න ඕන නැහැ ඡන්දයක් පවත්වන්න. නමුත් මේ වෙලාවෙ ප්‍රමුඛතාවය ඡන්දයක් පැවැත්වීම නෙවෙයි. ප්‍රමුඛතාවය තියෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට තියෙන වැඩපිළිවෙළටයි. ඒ වැඩපිළිවෙළේදී ව්‍යවස්ථා සංශෝධනය, සංහිඳියා යාන්ත්‍රණ ගොඩනැගීම වැනි කාරණා වලට විශාල අවධානයක් දිය යුතුයි.
නවාංගයක් ලෙස ඉදිරි පළාත් පාලන ඡන්දයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා 25% කෝටා එකක් හඳුන්වා දී තිබෙනවා. මෙහි පසුබිම කුමක්ද?
මේක ටිකක් විවාදසම්පන්න කාරණයක්. සමහර පිරිස් ප්‍රශ්න කරනවා ‘කාන්තාවො ඉදිරිපත් වෙන්නෙ නැතිනම් 25% ක් බලෙන් දැමිය යුතුද හා මොන වගේ කාන්තාවො ඉදිරිපත් වෙයිද’ කියලා. ඕනම වෙනසක මුල් අවස්ථාව හිංසාකාරීයි තමයි. නීතියක් මඟින් 25% ක් කාන්තාවො ගේන්න කියල කිව්වම ඒක හැමෝටම හිංසාවක්. කාන්තාවන්ටත්, අපේක්ෂකයන්ටත් හිංසාවක්. මුල් අවස්ථාවේ කාන්තාවො එතරම් ඉදිරිපත් වෙන එකක් නැහැ සහ වඩා සුදුසු අය සොයාගැනීමත් අපහසු විය හැකියි. නමුත් අපි ඒ අයව දිරි ගන්වන්න ඕන. මේ හරහා කාන්තාවන්ට අවස්ථාවක් ලැබෙනවා දේශපාලනයට එකතු වෙන්න. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධානවලට, මාධ්‍යයට විශාල කාර්යභාරයක් තියෙනවා. 1991 තිබුණ පළාත් පාලන ඡන්දයට මමත් තරග කළා. මට මතකයි ඒ ඡන්දයෙදි පළමු වතාවට නීතියක් හඳුන්වල දුන්නා. ඒ තමයි සෑම පක්ෂ ලැයිස්තුවකම සියයට තිහක් අවුරුදු 18ත් 35 ත් අතර තරුණ නියෝජනය තියෙන්න ඕන කියලා. මේක ඒ කාලෙ හැටියට හරි කරදරයක් වුණා. නමුත් මෙම නීතිය අනුව ක්‍රියා කළේ නැතිනම් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවෙ තරුණයො හොයල නාම යෝජනා පත්‍රයට දැම්මා. අවුරුදු 25 කට පසුව අද වෙද්දි ඒ තරුණයෝ දේශපාලනයේ ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ වෙලාවෙ ඒක විහිළුවක් වගේ වුණත් එහෙම නීතියක් නොතිබුණා නම් දේශපාලනයේ මුල් බැහැපු පැරැන්නන් නිසා අර තරුණ අයට කවදාවත් අවස්ථාවක් නොලැබී යන්න ඉඩ තිබුණා. කාන්තා නියෝජනයත් මේ වගේම වෙයි කියලයි මගේ විශ්වාසය.
2016 නොවැම්බර් සමබිම කලාපයට සාකච්ඡා කර සකස් කළේ රුවිනි බියගම සමග ජයනි අබේසේකර විසිනි

LEAVE A REPLY