රටට වඩාත් සුදුසු ද්විත්ව ඡන්දයක් සහිත ආසන-අනුපාත මිශ‍්‍ර ක්‍රමයක්

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධව මේ වන විට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාවලියක් දියත්ව තිබෙනවා. ඒ අතර අපට අසන්නට ලැබෙනවා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සම්බන්ධ කතා බහක් ද සිදු වෙනවා. ඒ තුළ පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතු බවට වන මතය මේ වන විට ප්‍රබල ලෙස ඉදිරිපත්ව තිබෙනවා. අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?
ඇත්තටම කාලයක පටන් මේ සාකච්ඡාව සිදු වෙනවා. වරින් වර එය කරළියට ඇවිත් නැවත පසුපසට යනවා. දැන් එය නැවතත් කරළියට පැමිණ තිබෙනවා. ඒ තුළ බොහෝ දෙනෙක් මතු කරන අදහසක් මහ මැතිවරණයක නිදර්ශනයක් ඇසුරෙන් මං පැහැදිලි කරන්නම්.
දැන් කොළඹ දිස්ත්‍රික්කය සැලකුවහම එහි අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ඉදිරිපත් වෙන නියෝජිතයට බොරැල්ල හෝ මැද කොළඹ ඡන්දදායකයාට මනාපය පළ කරන්න අවස්ථාව තිබෙනවා. ඔය අවස්ථාව නිසා අවිස්සාවේල්ලේ අපේක්ෂකයාට සිදු වෙනවා තමන් ඉදිරිපත් වන ප්‍රදේශයෙන් බැහැර තිබෙන බොරැල්ල සහ මැද කොළඹ ප්‍රදේශවලටත් එන්න. මොකද දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව තුළ වැඩිම මනාප ප්‍රමාණයක් ගත්තොත් තමයි ඔහුට පාර්ලිමේන්තුවට යන්නට අවස්ථාව හිමි වෙන්නෙ. ඒ කියන්නෙ අවිස්සාවේල්ල ප්‍රදේශය නියෝජනය කළත් සමස්ත දිස්ත්‍රික්කය පුරා යන්නට ඒ අපේක්ෂකයාට සිදු වෙනවා. තනි අපේක්ෂකයෙක්ට අතිවිශාල භූමි ප්‍රදේශයක් ආවරණය කරන්නට සිදු වෙනවා.
මේ ක්‍රමය නිසා මතු වන ගැටලුවක් තමයි සමහර කොට්ඨාසවලට එක් මහජන නියෝජිතයෙක් හෝ නැතිව යාම සහ සමහර කොට්ඨාසවලින් කිහිප දෙනෙකු මහජන නියෝජිතයන් බවට පත්වීම. ඔන්න ප්‍රශ්නය පටන් ගන්න තැන. කිසිම මහජන නියෝජිතයකුගේ අවධානය යොමු නොවෙන කොට්ඨාස ඇති වෙනවා. කවුද ඒ ප්‍රදේශයට වගකියන්නෙ? මේ ළඟ දී මට හමුවුණ කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙක් කියනවා, බලන්නකෝ අපේ පැත්තට මන්ත්‍රී කෙනෙක් නෑ, කිසි දෙයක් කරකියා ගන්න විදිහක් නෑ කියලා. ඔහොම පටන් ගන්න ප්‍රශ්නය නේද අපේක්ෂකයන්ට මැතිවරණයක් වෙනුවෙන් අතිවිශාල මුදලක් වියදම් කරන්න සිදු වෙන්නෙ, අපේක්ෂකයන් තෝරා ගන්නා විට ඒ ඒ පක්ෂවලට “ඔයාට මැතිවරණයට වියදම් කරන්න මුදල් තියෙනවද?” කියා අසන තත්ත්වයක් ඇති වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, එක් එක් පක්ෂ අභ්‍යන්තරයේ පවා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමට මේ ක්‍රමය බලපානවා. ඒ විදිහට ප්‍රශ්න රැසක් මේ ක්‍රමය නිසා මතුව තිබෙනවා. මුළු දිස්ති‍්‍රක්කය පුරාම මනාප එක් රැස් කරමින් ඇවිදිනවා, නමුත් මැතිවරණයෙන් පසුව කිසිදු ඡන්ද කොට්ඨාසයකට නිසි පරිදි වග කියන්න කෙනෙක් නැහැ. මනාප පොරය නිසා ප‍්‍රචාරක කටයුතුවලට අත දිග හැර වියදම් කරන්න මුදල් ලබා දුන් අය වෙනුවෙන් බලයට පැමිණි පසු නීති විරෝධී ක්‍රියා හරහා හෝ ඔවුන්ට සලකන්න වෙනවා. ඉතින් අක්‍රමිකතා, දූෂණ, වංචා ඇති වීමට ප‍්‍රධාන හේතුවක් ලෙසත් මේ ක්‍රමය හඳුනාගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි විශේෂයෙන් ජනතාව අතර පවා පොදු අදහසක් මතුව තිබෙන්නේ මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට.
රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් ගැන වන අපේක්ෂාව ගැන වාදයක් නැහැ. නමුත් ප්‍රශ්නය වෙන්නෙ ඊට බාලගිරි දෝෂයට මෙන් “අද නොවෙයි හෙට” ඉරණමක් අත්වීම?
ඔව්, එහෙම අත්දැකීම් විශාල ප්‍රමාණයක් කාලාන්තරයක් පුරා අපට තිබෙනවා. කතා කළා විතරයි, ප්‍රතිඵල ලැබුණේ නැහැ. අපි වර්තමාන පාලනය ගැන මතක් කළොත් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාව තුළ දී පොරොන්දු වුණා රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් ගෙන එන බවට. එහි දී ඔහු සඳහන් කළා මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට. ඒ තමයි කොට්ඨාස ක්‍රමයේ සහ සමානුපාතික ක්‍රමයේ එකතුවක්. දැන් අපි දකින අසන සාකච්ඡාව සිදු වෙමින් තිබෙන්නේ ඒ මත පදනම්වයි.
කොට්ඨාස ක්‍රමයේ සහ සමානුපාතික ක්‍රමයේ එකතුවක් ලෙස ගෙනෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගැන ඔබේ තක්සේරුව මොකක්ද?
ඇත්තටම එය වැදගත් යෝජනාවක්. කාරණා කිහිපයක්ම මත මං හිතනවා එය වැදගත් කියලා. ඒ නිසා මං හිතනවා අපි එය පළමුව හරියට හඳුනා ගන්න ඕන කියලා. මේ ක්‍රමයට කියන්නෙ ‘ආසන-අනුපාත මිශ‍්‍ර ක්‍රමය’- mixed member proportional system නැත්නම් MMP කියලා. ලොව පුරා තිබෙන මෙවැනි ක්‍රම සැලකිල්ලට ගත්තාම පෙනී යන පොදු ලක්ෂණයක් තමයි, එහි ඡන්ද පත්‍රිකාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එයින් එක් කොටසක් වෙන් කරලා තියෙන්නෙ අදාළ කොට්ඨාසයේ කාටද ඡන්දය දෙන්නෙ, එහෙමත් නැත්නම් කොයි අපේක්ෂකයාටද මනාපය පළ කරන්නේ කියලා සඳහන් කරන්න. අනෙක් කොටස වෙන් වෙන්නෙ මොන පක්ෂයටද ඡන්දය දෙන්නේ කියන එක සඳහන් කරන්නයි.
මං තව ටිකක් මෙය පැහැදිලි කරන්නම්. මේක උදාහරණයක් පමණක් බව මුලින්ම අවධාරණය කරන්න ඕන. අපි අරගමු 2010 ජනාධිපතිවරණය. එහි පළමු වෙනියා වෙන්නෙ ඒ කියන්නෙ ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයා ලෙස නම් වෙන්නෙ මහින්ද රාජපක්ෂ. දෙවනියා සරත් ෆොන්සේකා. තුන්වෙනියා වික්‍රමබාහු කරුණාරත්න. එයින් පෙන්වන්නේ වික්‍රමබාහු කරුණාරත්නට කැමැති අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මේ මැතිවරණයේ දී කෙනෙක් කියනවා “මං ඡන්දය දෙන්නේ වික්‍රමබාහුට” කියලා. එතැන දී වෙන කෙනෙක් කියනවා, “මේ ඡන්දෙ දි දිනන්න ඉන්නෙ ප්‍රධාන දෙන්නෙක් විතරයි. ඔයා මහින්දට අකැමැතියි නම්, ඔයා වික්‍රමබාහුට නෙවෙයි, සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න” කියලා. අයද who do you like the least කියන්නෙ මේකට.
ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය යටතේ 1931 දී පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට මොරවක ආසනයෙන් ඉදිරිපත් වූ එකම සමාජවාදී අපේක්‍ෂකයා වූ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ ජාතික සංගමයෙන් ඉදිරිපත් වූ අපේක්‍ෂකයා වූ එස්‌. සී. ඩී. අබේගුණවර්ධන පරාජය කර, ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වුණා. නමුත් අද ඒ වගේ අවස්ථාවක් තියෙනවද බලන්න. ඒ නිසා තමයි මේ මිශ්‍ර ක්‍රමය වැදගත් බව අපි කියන්නෙ. අපි වර්තමාන උදාහරණයක් ගමු. දැන් ඔන්න මිශ්‍ර ක්‍රමය තියෙනවා නම්, ඊට අනුව එක් ඡන්ද කොට්ඨාසයකට අදාළ ඡන්ද පත්‍රිකාවේ එක් පැත්තක අදාළ කොට්ඨාසය නියෝජනය කරන අපේක්ෂකයන් ඉන්නවා. අපි හිතමු X එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා, Y ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා සහ Z ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනවා කියලා. අනිත් පැත්තේ දේශපාලන පක්ෂ ටික තියෙනවා. ඡන්දදායකයන් ඉන්නවා, එයා එජාපයට අකැමැතියි, ශ්‍රීලනිපයට ටිකක් විතර කැමැතියි, ජවිපෙට කැමැති කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ කොට්ඨාසයේ ගොඩක් දිනන්න අවස්ථාව තියෙන්නෙ ශ්‍රීලනිප අපේක්ෂකයා. ඔහු ඡන්දදායකයා දන්න කියන විශ්වාස කෙනෙකුත් කියලා කියමුකෝ. ඉතින් එයා තමන් මනාප පුද්ගලයා හැටියට ශ්‍රීලනිප අපේක්ෂකයාව ලකුණු කරනවා. නමුත් එයා පක්ෂයක් විදිහට ඡන්දය දෙන්න කැමැති ජවිපෙට. අන්න එතැන දී එයා තීරණය කරනවා ජවිපෙට එයාගේ ඡන්දය දෙන්න. මොකද එයා කැමැති පක්ෂය ජවිපෙ.
දැන් මේ ඡන්දදායකයා ගන්න තීරණය අවසාන ඡන්ද ප්‍රතිඵලයට එක් වෙන්නෙ කොහොමද? ඒ තමයි ඡන්ද ගණන් කරනකොට කොට්ඨාසය නියෝජනය කරලා ශ්‍රීලනිප අපේක්ෂකයා ජයග්‍රහණය කරලා. අපි හිතමු ඒ ඡන්ද ප්‍රතිඵලය අනුව ජවිපෙ එක කොට්ඨාසයක්වත් ජයගෙන නෑ කියලා. නමුත් අර ඡන්දදායකයා වගේ පක්ෂයක් විදිහට ඇති කැමැත්ත මත ඡන්දය ප්‍රකාශ වීම නිසා ජවිපෙටත් සමස්ත ඡන්දය ප්‍රකාශ වී ඇති ප්‍රමාණය මත පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් හිමි වෙනවා.
මෙහි දී වැදගත්ම කාරණය වන්නේ, පාර්ලිමේන්තුවේ අවසාන නියෝජන සංයුතිය තීන්දු කෙරෙන්නේ, පක්ෂයට ලැබෙන ඡන්ද ප‍්‍රමාණය අනුව වීමත්, එම ඡන්ද ප‍්‍රමාණයට සමානුපාතික වන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් ආසන (කොට්ඨාස) මට්ටමින් තේරී පත්ව නැති යම් පක්ෂයකට, වෙනම සමානුපාතික අපේක්ෂක ලැයිස්තුවක් හරහා ඒ අඩුව පුරවාගත හැකි වීමයි. ඒ හරහා ජාතික ප්‍රවාහය නියෝජනය කරන කුඩා පක්ෂවලට පවා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි අපිත් යෝජනා කරන්නෙ මේ මිශ්‍ර ක්‍රමය වැදගත් කියලා.
නමුත් “ද්විත්ව ඡන්දයක් සහිත ආසන-අනුපාත මිශ‍්‍ර ක්‍රමය” සම්බන්ධවත් විවේචන තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන කමිටුව පවා ද්විත්ව ඡන්ද ක්‍රමය ගැන උනන්දු වෙලා නෑ?
මෙහෙමයි, ඇතැම් අය විවේචන එල්ල කරනවා. නමුත් ප්‍රශ්නය තමයි ආසන නියෝජනය සහ සමානුපාතිකත්ව නියෝජනය තුලනය කර ගන්නේ කොහොමද කියන එක. කොහොමද අපි සුළු පක්ෂවල නියෝජනය පාර්ලිමේන්තුවට ලබා ගන්නෙ? ඇත්ත, දිනේෂ් ගුණවර්ධන කමිටුවේ ද්විත්ව ඡන්ද ගැන කතා කරලා නෑ. එක් කොටසයි කතා කරන්නෙ. නමුත් අපි කරන්නෙ දියුණු යෝජනාවක්.
මේ මැතිවරණ ක්‍රමය හරහා පළාත් සභාවල කාර්ය සීමා සහිත වීමේ තත්ත්වයක් ඇති වෙන බවට අදහසක් එනවා?
පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හෝ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බලතල, කාර්යභාරය යම් ආකාරයක සීමා වීමකට ලක් වෙන බවට කෙනෙකුට තර්කයක් මතු කරන්න පුළුවන්. නමුත් ඒ ඒ පළාත්වල සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ අවස්ථාව පළාත් සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පැවරීමට හැකි නම්, ඒ කටයුතු සිදු වන විට ඒ ඒ කොට්ඨාසවලට වගකියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනවා නම් ඇත්තටම නරකක් වෙන්නෙ නෑ නේද? නමුත් ඒ ඒ අයගේ කටයුතු සිදු වන ආකාරය නිසි ලෙස විග්‍රහ කර දැක්විය යුතුයි. එසේ නොමැතිව පළාත් සභා නොමැතිව කොට්ඨාසයේ මන්ත්‍රීවරයෙක් හරහා ඒ කටයුත්ත සිදුකර ගන්නට හැදුවොත් නැවතත් කොළඹ කේන්ද්‍රීය පාලනයක්, හැම දෙයක්ම ඉහළින් පහළට එවනවා වැනි ක්‍රමයක් ඇති වෙයි. කොහොම නමුත් මැතිවරණ ක්‍රමය සකස් කරන විට ඔබ මතුකළ කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.
ඒ වගේම මේ ක්‍රමය තුළ වුණත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම වළක්වා ගන්න බෑ. මේ වෙනකොට පක්ෂ අභ්‍යන්තරයේ තියෙන මනාප පොරය පක්ෂ පක්ෂ අතර ගැටුම් බවට වැඩි තීව්‍රතාවයකින් මතු වෙන්න පුළුවන්?
ඇත්තටම මෙතැන දී මං අහන ප්‍රශ්නය තමයි, මැතිවරණ සමයක පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් හෝ පක්ෂ පක්ෂ අතර ගැටුම් වැඩි වෙනවා කියන්නෙ එය මැතිවරණ ක්‍රමයට සීමා වූ ප්‍රශ්නයක්ද නැතිනම් නීතිය සහ සාමය පවත්වා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්ද යන්න. දැන් අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා ව්‍යවස්ථාව වෙනස් කළාම, නැතිනම් මැතිවරණ ක්‍රමය වෙනස් කළාම සේරම ප්‍රශ්න විසඳෙයි කියලා. එහෙම කියන්න බෑ. එය නීතිය සහ සාමය පවත්වා ගැනීම, ඒ වෙනුවෙන් ඇති ආයතන නිසි ලෙස තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන. සමාජයත් නීතිගරුකව කටයුතු කරන්න හුරු වෙන්න ඕන. නැතිනම් මොන ක්‍රමය හඳුන්වා දුන්නත් වැඩක් නෑ.
කොට්ඨාස මට්ටමින් මැතිවරණය පැවැත්වුවත් මූල්‍ය හැකියාව මත මනාප ලබා ගැනීම තීරණය වීම වළක්වා ගන්න නොහැකියි නේද?
ඔව්. දැන් මෙරට මැතිවරණ ඉතිහාසය නිරීක්ෂණය කළාම නිදර්ශනයක් වශයෙන් වරක් දොම්පේ ආසනය සඳහා මැතිවරණයෙන් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පරාජය කර සරච්චන්ද්‍ර රාජකරුණා ජය ගන්නවා. ඒ ගැන කියවෙන්නෙ සරච්චන්ද්‍ර රාජකරුණා බිම් මට්ටමේ හොඳ ප්‍රචාරණයක් කරලා, ඒ කියන්නෙ ගෙයින් ගෙට ඇවිදගෙන ගිහින් කරපු මැතිවරණ ප්‍රචාරණය නිසා දිනුවා කියලා. නමුත් දැන් තත්ත්වය වෙනස්. ඒ තුළ ඔබ මතු කරන අවදානමත් තියෙනවා. ඒ නිසා යම් බලපෑමක් සිදු විය හැකියි. නමුත් ඒ ගැන තීන්දුව තියෙන්නෙ ඡන්දදායකයන් අතේ.
ඒ විතරක් නෙවෙයි, අපි හිතමු කාලයක පටන් එක් ආසනයක ඉන්න අපේක්ෂකයෙක් ඉන්නවා. ඔහු තමන් ඒ ප්‍රදේශයට අහවල් අහවල් දේ කළා කියා මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් අලු‍තින් ඉදිරිපත් වෙන අනෙක් අපේක්ෂකයන්ට ඒ තුළ අසාධාරණයක් වෙනවා කියන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් මං හිතන්නෙ ඒ තත්ත්වය ගැටලුවක් නෑ. මොකද අද වෙනකොට ප්‍රදේශයේ පාර හැදුණෙ නැතත් මොන මන්ත්‍රීවරයාටද කියන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේමයි නියමිත මන්ත්‍රීවරයෙකු නැති නිසා කාත් කවුරුත් නැතුව ගිය කොට්ඨාසත් තියෙනවා. නමුත් මේ නව ක්‍රම නිසා ඒ නියෝජිතයා තමන්ගේ ප්‍රදේශයට හරි යන්නෙ නැත්නම් ඔහු ගැන තීරණයක් ගන්න ඒ ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව තිබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරුව අපේ වගේ රටවල නිතර අසන්නට දකින්නට ලැබෙන දෙයක්. මේ නව ක්‍රමය හරහා ඒ වෙනුවෙන් යම් හෝ සීමාවක් පැනවෙනවද?
නව ක්‍රමය තුළ යම් සීමාවක් පැනවෙනවා. දැන් තියෙන ක්‍රමය තුළ මුලින් පක්ෂයට ඡන්දය දීලා තමයි අපේක්ෂකයාට මනාපය දෙන්නේ. ඒ, ඒ පක්ෂයේම අපේක්ෂකයෙකුට. නමුත් නව ක්‍රමය තුළ “පක්ෂය” ඡන්ද කොට්ඨාසය තුළ පරාජය වුවත් “අපේක්ෂකයා” ජයගන්න පුළුවන්. ඒ කියන්නෙ ඒ ප්‍රදේශයේ ජනතාව ඒ පුද්ගලයා මත තියෙන විශ්වාසයකටයි ඡන්දය දීලා තියෙන්නෙ. එක් පසෙකින් ඒ අපේක්ෂකයාව ඉදිරිපත් කළ පක්ෂය. අනෙක් පසින් කවර පක්ෂයෙන් ඉදිරිපත් වුවත් ඒ කොට්ඨාසය ජයගත් අපේක්ෂකයා. මොකද පක්ෂයට නැතත් මිනිස්සු ඒ පුද්ගලයාට පමණක් මනාපය පළ කරන්න පුළුවන්. එතැන දී දෙකක් අපට දකින්න පුළුවන්. නව ක්‍රමයට අපේක්ෂකයා සම්බන්ධ වෙන විදිහ සහ පැරණි ක්‍රමයට අපේක්ෂකයා සම්බන්ධ වන ආකාරයේ වෙනසක් තියෙනවා. ඒ කොහොම වෙතත් මොන ක්‍රමය යටතේ වුණත් පක්ෂ මාරු කරන එක අනුමත කරන්න බැහැ කියන අදහසේ තමයි මං ඉන්නෙ. එය සුදුසු දෙයක් නෙවෙයි.
ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් දැන ගැනීමට ඡන්දදායකයන්ට ඇති අයිතිය ගැනත් කතා කරමු. අද වන විට දේශපාලනඥයන් වසර කිහිපයක් තුළ ප්‍රකෝටිපතියන් වන බවට කතා පැතිර ගියත් එහි සත්‍ය අසත්‍යතාව හෙළිකර ගැනීම සහ ඒ ගැන ජනතාව දැනුවත් කිරීම ගැටලු‍වක් වී තිබෙනවා. විශේෂයෙන්ම මැතිවරණ අපේක්ෂකයන්ගේ?
ඇත්තටම අදටත් 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප‍්‍රකාශ කිරීම් පනත මත ඕනම අයෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රකාශන, පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් ද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප‍්‍රකාශන, ජනාධිපති ලේකම්වරයාගෙන් ද ලබා ගැනීමට හැකියාව තියෙනවා. නමුත් එහි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපි ගන්න ඒ වත්කම් බැරකම් ප්‍රකාශය තව කෙනෙකුට පෙන්නන්න නෑ. ඊට අවස්ථාවක් නෑ. එහෙම පෙන්නුවොත් රුපියල් 2000ක දඩයක් සහ සිරදඬුවම් ලබා දීමට පුළුවන්.
එය ලොකු ප්‍රශ්නයක්. නමුත් මේ ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා 2017 වසරේ මාර්තු මාසය වන විට මේ සීමා ඉවත් කරන බවට. ඒ තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතුයි. නමුත් ඉන්දියාවෙ පවතින්නෙ වෙනස් තත්ත්වයක්. එහි මැතිවරණ අපේක්ෂකත්වය ඉල්ලු‍ම් කරන අවස්ථාවේම මැතිවරණ කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුයි. එය සෑම කෙනෙකුටම වෙබ් අඩවිය හරහා බලා ගන්න පුළුවන්. නමුත් ලංකාවේ මාස 3ක් දක්වා ඒ වෙනුවෙන් අවස්ථාව දීලා තියෙනවා. නමුත් පිටපත ගත්තත් ප්‍රසිද්ධ කළහොත් දඬුවම් ලැබිය හැකි වරදක් වන නිසා මාධ්‍ය පවා දුෂ්කර තත්ත්වයක පවතිනවා. ඒ නිසා 2017 මාර්තු පිළිබඳ අපි සැලකිල්ලෙන් බලා සිටිය යුතුයි.
ඒ වගේම කියන්න ඕන අපි මේ එක් ප්‍රතිසංස්කරණයක් හෝ සංශෝධනයක් මත සියල්ල සිදු වෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න හොඳ නෑ. අපි බලන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම්වලින් සමාජය පෝෂණය කරන්නෙ කොහොමද කියන කාරණය. මාධ්‍ය ඇතුළු සියලු‍ දෙනාට ඒ වෙනුවෙන් කරන්න විශේෂ කාර්යභාරයක් තියෙනවා. හැමදේම දේශපාලනඥයන් කියනතුරු කරනතුරු ඉන්න ඕන නෑ. ඔබ දන්නවද අපි මීට පෙර manthri.lk වෙබ් අඩවියේ කටයුතු කරන විට අපි විමර්ශනයක් කළා. ඒ හරහා අපිට හෙළි වුණේ මොකක්ද? අපි හිතාගෙන ඉන්නෙ පාර්ලිමේන්තුවේ කෙරෙන්නේ බොහෝවිට ප්‍රතිපත්ති සම්පාදනය වැනි කටයුතු කියලනෙ. නිදර්ශනයක් ලෙස අධ්‍යාපනය ගත්තොත් අපි හිතන්නෙ පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ විෂය දියුණු කරන්නේ කොහොමද, විෂයමාලා නවීකරණය කරන්නේ කොහොමද වගේ දේවල් කතා කරනවා ඇති කියලනෙ. නමුත් ඇත්තටම සිදු වෙන්නෙ ඇයි අහවලාගේ ළමයාට ජාතික පාසලක් නොදෙන්නෙ, අහවල් ගුරුවරයාව මාරු කළේ ඇයි, අහවලාගේ පුතාව අහවල් පාසලට නොගන්න හේතුව වගේ ප්‍රශ්න තමයි වැඩිපුර ඉදිරිපත් වෙන්නෙ.
ඒ නිසා තමයි මැතිවරණ ක්‍රමය විතරක් නෙවෙයි, මොන දේ වෙනස් කළත් මාධ්‍ය සහ ජනසමාජය ඒ ගැන අවධානෙන් ඉන්න ඕන.
සාකච්ඡාව – සංජය ලියනගේ
ඡායා – අජිත් සෙනෙවිරත්න

LEAVE A REPLY