චාවකච්චේරි බෝම්බය ආණ්ඩුව බිඳවැටීමේ හැරවුම් ලක්ෂයද?

උතුරේ ජනවාර්ගික අර්බුධය පදනම් කරගනිමින් ඇතිවුණ ත්‍රස්තවාදී අරගලය යුදමය වශයෙන් පරාජය කර ගතවූ සය අවුරුදු තුළ දකුණේ ජනයාට ත්‍රස්තවාදී උවදුර පිළිබඳව අනියත බියක් ඇතිකල ආසන්නතම සිද්ධිය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමය.

මෙය එක්තරා ආකාරයකට ත්‍රස්තවාදී අරගලවලින් දීර්ඝ කාලයක් අමිහිරි අත්දැකීම් විදි දකුණේ සිවිල් වැසියන්ට යුදබිය ඇතිකල කාරණයක් මෙන්ම, විපක්ෂයක් නොමැති විරුද්ධ පක්ෂ ඇති ලාංකීය දේශපාලනය තුළ පවතින ආණ්ඩුව දෝෂ දර්ශනයට ලක්කල හැකි කාරණයක් ලෙසද සමාජගතව ඇත. ජනමාධ්‍යය, සමාජජාල වෙබ් අඩවි වල අදහස් දක්වන්නන් මෙය ත්‍රස්තවාදයේ පුනරාගමනයක් ලෙසින්ද, වත්මන් ආණ්ඩුවේ දුර්වලතාවයක් වශයෙන්ද පැවති ආණ්ඩුවේ පරාජය කිරීමේ ප්‍රතිඵලයක් ආදී වශයෙන් අර්ථ දක්වන්නේ මෙම අදහස මත පිහිටාය.

එහෙත් වඩාත් සමීපව මෙම කාරණය දෙස බැලීමේදී මෙය හුදෙක් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් සොයාගැනීමේ සීමාව ඉක්මවායන්නක් බව හඳුනාගත හැකිය. මෙය යුදමය වශයෙන් පරාජය කල නොහැකි ජාතිවාදී අරගලය තවදුරටත් සිය ජීවය. උතුරුකරයේ නිරුපද්‍රිතව ඇති බව හැඟවූ සළකුණක් ලෙස වටහාගැනීමට අපහසු නැත.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය බිහිවන්නේ උතුරත් දකුණත් අතර ඇතිවූ ජාතිවාදී ගැටලුව දේශපාලනිකව (සාකච්ඡා මාර්ගයෙන්) විසඳීමට එවකට සිටි ද්‍රවිඩ දේශපාලන නායකයන් දිගින් දිගටම ගත් අසීමිත උත්සාහය ව්‍යර්තවීම තුළය. ඇතිකරගත් ගිවිසුම් ඒකපාර්ශවීයව ඉරාදැමීමත් පටු දේශපාලනික අරමුණු සඳහා වර්ධනය වෙමින් පැවති ජාතිවාදී ගැටලුව ම්ලේච්ඡ ලෙස යොදාගැනීම ආදී ජාතිවාදී අරගලය විසඳීම සඳහා වැඩි වගකීමකින් යුතු දකුණේ පාලකයන්, දේශපාලන පක්ෂ ගත් අදූරදර්ශී ක්‍රියාමාර්ග හමුවේ උතුරේ දෙමළ තරුණයන් සන්නද්ධ අරගලයකට යොමුවීම එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූලාරම්භයට හේතුවිය.

එහෙයින් දශක 3 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදී අරගලය ඕපපාතිකව ඇතිවූ අරගලයක් නොව පැවති ජාතිවාදී අරගලයේවම ප්‍රතිඵලයක් ලෙස බිහිවූවක් බව වටහාගත යුතුය. එමෙන්ම එම ත්‍රස්තවාදී අරගලය යුදමය වශයෙන් පරාජය කලද ජාතිවාදී අරගලය සමතයකට පත්කිරීම සඳහා මේ වනතුරුත් විධිමත් සාර්ථක වැඩපිළිවෙලක් රට තුළ ඇතිනොවීම මෙම ත්‍රස්තවාදී අරමුණු උතුරුකරය තුළ නිරුපද්‍රිතව පැවතීමට හේතුපාදක වන ප්‍රබල කාරණයක් වන බවද තේරුම්ගත යුතුය.

යුද්ධය අවසන් කිරීම සමග එළැඹි කාලය මෙරට දේශපාලන ඉතිහාසයේ ලද අතිශය දුර්ලබ හා තීරණාත්මක කාලයක් ලෙස හැඳින්ය හැක. සිංහල, දෙමළ ජාතීන් අතර පැවති ජාතිවාදී අදහස් මෙන්ම යුදමය අත්දැකීමකට මුහුණදුන් ජාතීන් දෙකක් අතර පවතින හැඟීම ඉවත්කරගැනීම සඳහාත් ප්‍රතිසන්ධානය කිරීම සඳහාත් ලද සුවිශේෂී අවස්ථාව එම කාලය අතරතුර විය. එහෙත් අප එම අනගි අවස්ථාව මගහැර ගතිමු.

අප ඒ වෙනුවට උතුරේ ජනයා වෙත සංවර්ධනයේ වසන්තය ඉදිරිපත් කළෙමු. එහි ප්‍රතිඵලය එවකට සිටි පාලකයන් අත්වින්දේ මැතිවරණයෙන් පරාජයට පත්වෙමිනි. මෙහි ඇති ඛේදවාචකය වන්නේ පසුව බලයට පැමිණි (වත්මන්) දේශපාලන අධිකාරිය තුළද එම නිවැරදි කිරීම සිදුකිරීම සඳහා සැලකිය යුතු දේශපාලනික ප්‍රතිසංස්කරණයක් ඇති බව නොපෙනීමයි.

මෙවැනි වටපිටාවක් තුළ උතුරේ ජනයා තුළ බෙදුම්වාදී අදහස් නොනැසී පැවතීම අරුමයක් නොවන අතර එය යම්කිසි මොහොතක සන්නද්ධ අරගලයක් ලෙස නැවත පැනනැගීම නොවැලැක්විය හැකි තත්ත්වයකි. එය අප තේරුම්ගත යුතුය. එම යථාර්ථය තේරුම් නොගනිමින් උතුරේ විටින් විට ඇතිවන ආයුද සොයාගැනීම්, ඊළාම් කොඩි ප්‍රදර්ශනය කිරීම්, මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිපත් කිරීම් මතුපිටින් දකිමින්, ඒවාට තම දේශපාලන මතය අනුව වාසිදායක වන ප්‍රකාශ කිරීමෙන්, ඉතිහාසය පිළිබදව අනවබෝධයෙන් කෙරෙන අර්ථැක්වීම් සිදුකිරීමත් නතර කල යුතුය.

LEAVE A REPLY