ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට සංවාදයක් ආරම්භ වන්නේ දශකයකට පමණ පෙරාතුවය. එහෙත් එම වෙනස තවමත් ඇති කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය හෝ රට පාලනය කළ ආණ්ඩු මෙතෙක් සමත් වී නොමැත. එසේ වූවද මේ වන විට නැවත වරක් ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයන් පිළිබඳව සාකච්ඡා අරඹා තිබේ. මෙම ලිපිය මගින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ සැබැවින්ම ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුද? වෙනස් කල යුතු නම් එහිදී අවධානය යොමුකළ යුතු අංශ කෙරෙහි විමසා බැලීමකි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවට මතු කරන තර්ක අතර ප්‍රධාන කරුණු කිහිපයක් පෙන්වා දිය හැකිය.

1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවට වග නොකියන බව
2. මනාප ක්‍රමය නිසා ගැටුම් ඇති කරන බව
3. මැතිවරණයකදී සැබෑ ජනමතය මුදලින් යට කරන බව
4. සුදුස්සන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව
5. කාන්තා නියෝජනයට ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම

මැතිවරණය ක්‍රමය වෙනස් කළ යුතු බවට නැගෙන ප්‍රධානම තර්කයක් වනුයේ පවත්නා ක්‍රමය තුළ කොට්ඨාශයට ජනතාවට වගකියන මන්ත්‍රීවරයෙක් නොමැති කමයි. පවතින ක්‍රමය තුළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලැයිස්තුව හරහා තේරීපත් වන මහජන නියෝජිතයන් මුළු දිස්ත්‍රික්කයේම මහජනතාවට වගකිව යුතු වූවද, එහි පවත්නා විසිරුණුභාවයත් එමෙන්ම ඔහුට හෝ ඇයට මුළු දිස්ත්‍රික්කයෙන්ම ඡන්ද ලබාගත හැකිවීම නිසා පහසුවෙන්ම වගකීමෙන් නිදහස්වීමට මන්ත්‍රීවරයාට හැකිවී තිබේ. එමෙන්ම මෙම ක්‍රමය තුළ සමහර කොට්ඨාශයට කිසිදු මන්ත්‍රීවරයෙකු නොමැති වීමත් ප්‍රයෝගිකව අත්දැක තිබේ. එහෙත් කොට්ඨාශ ක්‍රමය තුළ අදාල මන්ත්‍රීවරයා කොට්ඨාශය තුළ ජනතා අභිලාෂයන් නොසලකා කටයුතු කළහොත් ඊළඟ මැතිවරණයේදී පරාජය විය හැකි බැවින් ඔවුන් කිසියම් ආකාරයකට ජනතා අපේක්ෂාවන් අනුව කිරීමට කිරීමට පෙළඹවීමක් ඇතිවේ. එමෙන්ම භූගෝලීය වශයෙන් සීමාවීම නිසාද ඔවුනට වැඩ කිරීම පහසුකරයි.

කොට්ඨාශ ක්‍රමය තුළ පවතින ජනතාවට වාසිදායක කරුණ වනුයේ තම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ජනතා අවශ්‍යතාවය අනුව කටයුතු නොකරයි නම් දිස්ත්‍රික්කයෙහි ඕනෑම මහජන නියෝජිතයෙකු ගෙදර යැවීමට ඔවුනට හැකියාව ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්පත් බෙදාහරින්නෙක් විය යුතුද?

කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් අවශ්‍ය යැයි අර්ථගැන්වෙන්නේ එකී කොට්ඨාශයේ පොදු මහජන අවශ්‍යතාවය සහ සංවර්ධනය, රැකියා ප්‍රශ්ණ වැනි විසඳා ගැනීමට සිදුව තිබෙන්නේ මන්ත්‍රීවරු හරහා නිසාවෙනි. ඒ සඳහා අවශ්‍ය සම්පත් බෙදාහැරීම 80 දශකයේ සිට මන්ත්‍රීවරයාගේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වී ඇත. ජනතාවගේ කෝණයෙන් බැලූකල එහි සත්‍යතාවයක් පවතී. එමෙන්ම පසුගිය දශක කිහිපය තුළ ප්‍රයෝගික යාථාර්ථයද එය විය. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ප්‍රමුඛ කාර්ය විය යුත්තේ එයද? ඔහු කළ යුත්තේ මුළු රටෙහිම ආර්ථික, සමාජීය සංවර්ධනය සඳහා අවශ්‍ය නීති හා ප්‍රතපත්ති සම්පාදනය කිරීම නොවන්නේද? නොඑසේ නම් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකරන, පාරවල් සංවර්ධනය, පාසැල් සංවර්ධනය, දරුවන් පාසැල් වලට දැමීම, රැකියා ලබාදීම වැනි අවශ්‍යතා සාධාරණ ලෙසත් නිවැරදි ලෙසත් බෙදී යාම සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදන කර එය රාජ්‍ය යාන්ත්‍රණ හරහා විධිමත්ව සිදුවන්නේද යන්න අධීක්ෂණය කිරීම නොවේද? මේ පිළිබඳව රට තුළ සංවාදයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝමයක් සම්පත් බෙදා හැරීම හොඳින් සිදුකළද ඔවුගේ ප්‍රමුඛ කර්යය වන නීති ප්‍රතිපත්ති සකස් කිරීමට කිසිදු වැදගත්කමක් ලබා දී නොමැත. මන්ත්‍රීවරයාගේ මූලික කාර්යය එය නම් ඔහු නිශ්චිත කොට්ඨාශයක් නියෝජනය නොකලද කිසිදු ගැටළුවක් ඇති නොවනු ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මළගෙදරට, මගුල් ගෙදරට ගෙන්වා ගැනීමේ සංස්කෘතිය වෙනස් කලයුතුව ඇත.

පවතින මැතිවරණ ක්‍රමය ගැටුම් ඇති කරයිද?

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ලංකාවටම විශේෂ වූ මැතිවරණ ක්‍රමයකි. එය ලෝකයේ සමහර රට වල ක්‍රියාත්මක අනුපාතික මැතිවරණ ක්‍රමයට අපේක්ෂකයන් තෝරා ගැනීමක් හෙවත් මනාප ක්‍රමයක් එකතු කිරීමෙන් සාදන ලද්දකි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ඉතා ප්‍රශස්ත ක්‍රමයකි. ඡන්ද දායකයාට තමා කැමති පක්ෂයත් අපේක්ෂකයාත් තෝරා ගැනීමට ඉඩකඩ ලැබේ. එහෙත් මෙම ක්‍රමය භාවිතා කිරීමේදී එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ගැටුම් ඇති කර ගැනීම මැතිවරණ ගණනාවකදීම අප අත්දැක ඇත්තෙමු. එමෙන්ම සමහර මැතිවරණ වලදී ගැටුම් අවම මට්ටමක පැවති අවස්ථාද දැකිය හැක. එමෙන්ම සමහර දිස්ත්‍රික්ක තුළ කිසිදු ගැටුමක් සිදුනොවූ අවස්ථාද නිරීක්ෂණය වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ එසේ ගැටුම් ඇති වීමට, ක්‍රමයට වඩා පුද්ගලයා හා භාවිතාවේ පවත්නා ගැටළු හේතු වන බවයි.

ඒ සඳහා අවශ්‍ය දියුණු දේශපාලන සංස්කෘතියක් අප රට තුළ නොතිබීම ප්‍රධාන ගැටළුවකි. මැතිවරණ වලදී ගැටුම් ඇති කර ගැනීමට මුල් වන්නේ ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් 25% අඩු ප්‍රමාණයකි. එමෙන්ම සෑම මැතිවරණයකදීම ගැටුම් ඇති කර ගන්නේ එකම කණ්ඩායමක් වීමද, බොහෝ ගැටුම් වලට හේතුව රාත්‍රී කාලයේ ප්‍රචාරක පෝස්ටර් ප්‍රදර්ශනයට යාමද, ඒ සඳහා බීමත් පුද්ගලයන් යොදා ගැනීමද යන කරුණු වලින් අවධාරණය වන්නේ ගැටුම් වලට එකම හේතුව මනාප ක්‍රමය නොවන බවයි. එහෙත් මනාප ක්‍රමයද එයට යම් බලපෑමක් එල්ල කරන බව ඉවත නොදැමිය හැකි තර්කයකි. කෙසේ වෙතත් මනාප ක්‍රමය පවත්වා ගනිමින්ම වෙනත් නීතිමය තත්වයන් හා භාවිතාවන් වෙනස් කර, ගැටුම්කාරී තත්වයන් සැලකිය යුතු ප්‍රමාණයකට පාලනය කළ හැකි බව පෙනී යයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තරඟ වදින පුද්ගලයන් කිසියම් විනයක් හා සංයමයක් සහිත පුද්ගලයන් වුවහොත් මෙම තත්වය අවම වනු ඇත. අවම වශයෙන් පැෆ්රල් සංවිධානය විසින් හඳුන්වා දුන් ‘මාර්තු 12 නිර්ණායක‘ අනුව අපේක්ෂකයන් තෝරා ගැනීම සිදු කරනු ලැබූව හොත් මෙම තත්වය බොහෝ දුරට මගහරවා ගත හැකි වනු ඇත.

මනාප ක්‍රමය ඉවත් කරන්නේ නම් අපේක්ෂකයන් තේරීමට ක්‍රමවේදයක්

ඉදිරි මැතිවරණ සංශෝධනයකදී මනාප ක්‍රමය ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් අපේක්ෂකයන් තේරීමට විධිමත්ක්‍රමවේදයක් සකස් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වනු ඇත. විශේෂයෙන්ම ලංකාව වැනි රටක දේශපාලන පක්ෂ වල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිධභාවය නොමැති තත්වයක් තුළ සහ පක්ෂ ක්‍රමය ස්ථාපිත වූ තත්වයක් තුළ අපේක්ෂකයන් තෝරා ගැනීමට කොට්ඨාශ වලට අපේක්ෂකයන් නම් කිරීමට විනිවිධ භාවයක් සහිත ක්‍රමයක් නොතිබුනහොත් පක්ෂ නායකයාගේ අභිමතය මත සියල්ල තීන්දු වනු ඇත. පක්ෂ නායකයාට යම් අපේක්ෂකයෙකු පරාදකරවීමට හෝ දිනවීමට අවශ්‍යවන්නේ නම් ඒ සඳහා පක්ෂය ස්ථාරව දිනන කොට්ඨාශයක් හෝ පරාජය වන කොට්ඨාශයක් ඒ සඳහා ලබාදිය හැක. මනාප ක්‍රමය ඉවත් කරනු ලැබුව හොත් අද පවතින ජාතික දේශපාලනයේ හැඩතලය බොහෝ දුරට වෙනස් වනු ඇත. බොහෝ ජාතික දේශපාලඥයන් පරාජයට පත්වනු ඇත. එය වලක්වා ගැනීමට නම් ඒ ඒ දිස්ත්‍රික්කයේ සමානුපාතික ක්‍රමයට ලබාගන්නා ඡන්ද ප්‍රමාණය සැලකිල්ලට ගෙන ජයග්‍රාහී කොටඨාශ සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කිරීමෙන් අනතුරුව සෙසු පිරිස් හොඳම පරාජිතයන් අතරින් තෝරා ගැනීමේ ක්‍රමයක් සැකසිය යුත.

සැබෑ ජනමතය මුදලට යටවේද?

පවතින මැතිවරණ ක්‍රමය තුළ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට නම් විශාල භූගෝලීය ප්‍රදේශයක් තුළ තම ප්‍රචාරක කටයුතු සිදුකළ යුතුව ඇත. එසේ කිරීමට නම් ඔහුව හෝ ඇයට ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවේ. එක් අතකින් එසේ විශාල වියදමක් දරන අපේක්ෂකයෙකු ජයග්‍රහණයෙන් පසු එම මුදල් උපයාගැනීමට ක්‍රයාකරනු ඇත. එමෙන්ම මුදල් ඇති අපේක්ෂකයෙකු කිසිදු ජන පදනමක් නොමැතිව වුවද මුලූ දිස්ත‍්‍රික්කය පුරාම ප‍්‍රචාරක කටයුතු බඩු, මුදල් බෙදාහැරීම සිදුකර ඡන්ද එකතු කරනු ඇත. පසුගිය මැතිවරණ ගණනාවකදී සමහර අපේක්ෂකයන් සිදුකකරන ලද අති විශාල වියදම සහ එකී වියදම් හරහා ඔවුන් ලැබූ ජයග‍්‍රහණ දෙස බැලීමේදී මේ බව පැහැදිලි වේ.

කලූතර දිස්ත‍්‍රික්කයේ එක් අමාත්‍යවරයෙකු ප‍්‍රසිද්ධියේම තමා ලක්ෂ 800 ක මුදලක් මැතිවරණයට වියදම් කල බව සඳහන් කළේය. ප‍්‍රචාරණ කටයුතු සඳහා අඩුවෙන්ම වියදම් කල බව කියන උදය ගම්මන්පිල මහතා ලක්ෂ 98 ක් වියදම් කල බව කියයි. ශ‍්‍රී ලාංකික සංස්කෘතියට අනුව යම් පුද්ගලයෙකුට යමක් ලැබුණහොත් පෙරලා ඒ සඳහා උපකාර කිරීමට පෙළඹේ. එවැනි ඡන්ද ලබාගැනීමට මූල්‍ය ශක්තිය ඇති අපේක්ෂකයන් සමත්වේ.

සුදුස්සන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව

උගතුන් බුද්ධිමතුන් පමණක් මහජන නියෝජිතයින් ලෙස පත්විය යුතු බව පිළිගත හැකි තර්කයක් නොවූවද පවතින ක‍්‍රමය තුළ උගතුන් බුද්ධිමතුන් තරගකිරීමට ඇති පෙළඹවීම ඉතා අවමය. මැතිවරණයකදී දැරීමට සිදුවන අතිවිශාල වියදමක් දරමින් සහ පවතින තරගකාරීත්වයට මුහුණදෙමින් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට දැනටමත් දේශපාලන ප‍්‍රවාහයේ සිටින බුද්ධිමතුන් හැර දේශපාලන නවකයෙකු ඒ සඳහා ඇතුල්වීමට උත්සාහ නොදරනු ඇත.

එමෙන්ම සාධාරණ ලෙස මුදල් උපයන්නන් බහුතරයක් විශේෂවූ තත්ත්වයක් හෝ බලාපොරොත්තුවක් නොවන්නේ නම් තරගකිරීමට ඉදිරිපත් නොවනු ඇත. එමෙන්ම එවැන්නෙකුට මුලූ දිස්ත‍්‍රික්කය පුරා තම මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල යෙදෙමින් සෙසු අපේක්ෂකයන් විවේචන කරමින් ජනතාවට පොරොන්දු ලබාදීමට කටයුතු නොකරනු ඇත. එබැවින් ඔවුන් මාධ්‍යය අවධානය දිනා නොගනු ඇත. එබැවින් සුදුස්සන් තරග වැදුණද ජයග‍්‍රහණය නොකරනු ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ප‍්‍රතිඵල විමසා බැලීමේදී පැහැදිලි වනුයේ හුදු ජනප‍්‍රියත්වයට බාහිර පෙනුමට මැතිවරණ ප‍්‍රචාරණවලට ඡන්දදායකයා වැඩි ඉඩක් ලබාදී ඇති බවය. මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් එක් පැත්තකින් මැතිවරණ ක‍්‍රමයේ යම් වෙනසක් ඇතිකල යුතුය. එමෙන්ම ඡන්දදායකයාගේ තෝරාගැනීමේ ක‍්‍රමය (Voting Pattern) වෙනස් කල යුතුය.

කාන්තා නියෝජනයට ප‍්‍රමාණවත් ඉඩක් තිබේද?

වර්තමාන මැතිවරණ ක‍්‍රමය තුළ කාන්තාවන් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමේ ප‍්‍රවණතාව ඉතාම අවමය. එයට බලපාන හේතු ගණනාවක් ඇත.

1. සංස්කෘතික – සමාජයීය වශයෙන් පවතින බාධා
2. දැරීමට වන අසීමිත වියදම්
3. නාමයෝජනා ලබාගැනීමේ අපහසුව
4. අධික තරගකාරීත්වය
5. භූගෝලීය ප‍්‍රමාණය විශාලවීම
6. දැනට දේශපාලනයේ නිරතව සිටින කාන්තාවන් බහුතරයක් සුවිශේෂී වෙනසක් පෙන්වීමට අපොහොසත් වීම
7. ඡන්දදායකයාගේ ආකල්ප
8. කාන්තාවන් දේශපාලනයට පැමිණීමෙන් සමාජයට අත්වන වාසි නිවැරදිව හදුනානොගැනීම හා ඒවා නිවැරදිව සමාජගත කිරීමට අපොහොසත් වීම

මෙම හේතූන් සඳහා නිවැරදිව ආමන්ත‍්‍රණය නොකිරීම නිසා කාන්තාවන් ඉදිරිපත් වුවද ජයග‍්‍රහණය කිරීම ඉතාම අපහසුය. සියයට 52 ක ප‍්‍රතිශතයක් කාන්තාවන් සිටින රටෙහි කාන්තා නියෝජනය සියයට 6 ට අඩුය. එය ආසියානු කලාපයේ ඉතා අවම මට්ටමක තිබෙන රට ශ‍්‍රී ලංකාවයි. එහෙත් සර්වජන ඡන්ද බලය ලැබූ (1931) ප‍්‍රථම රටවල් අතර ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණ ක‍්‍රම ආරම්භ කර දශක දෙකක් නොමැති ඇෆ්ගනිස්ථානයේ පවා කාන්තා නියෝජනය සියයට 30 ක් වැනි ඉහළ අගයක් ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ දැනට ඇති කාන්තා නියෝජනය පවා දේශපාලන පවුල් පරිසරය හරහා ගොඩනැගුණු කාන්තා දේශපාලනඥයන් හැරුණුවිට තම දක්ෂතාවය මත ගොඩනැගුණු, සමාජගතවූ, දේශපාලන චරිත ඉතාම අල්පය.

ඉහත සඳහන් හේතූන් නිසා දක්ෂතාවය හා කැමැත්තක් ඇති කාන්තාවන්ට පවා ඉදිරියට ඒමට ඇති ඉඩකඩ අවමය. එමෙන්ම කාන්තාවන් වෙනුවෙන් ක‍්‍රියාකරන කාන්තාවන් දේශපාලනයට කැඳවාගෙන ඒමට කටයුතු කරන සංවිධාන, ව්‍යාපෘති මානසිකත්වයෙන් බැහැරව එක අරමුණකට කටයුතු කිරීමද අත්‍යවශය. කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින එවැනි ජාතික හා ප‍්‍රාදේශීය සංවිධාන එක්ව එක හඩක් නැගිය යුතුය. එමෙන්ම පවතින බාධක ඉවත්කිරීමට සියළු දෙනා එක්ව කටයුතු කල යුතුය. එහෙත් දීර්ඝකාලීන අඩිතාලමක් ශක්තිමත් වන තෙක් කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා කොටා ක‍්‍රමයක් සකස් කල යුතුය.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට ඇති සීමා, නොසලකා හැරීමට නොහැකි කරුණු

1. මන්ත‍්‍රී ධූර ප‍්‍රමාණය 225 ඉක්මවා නොයෑම
2. මැතිවරණ කොට්ඨාශ ප‍්‍රමාණය (160) විශාල ලෙස වෙනස් නොකිරීම
3. දැනට දේශපාලන පක්ෂවලට ලැබෙන මන්ත‍්‍රී ධූර ප‍්‍රමාණය අඩු නොවීම
4. කුඩා ජන කණ්ඩායම්වලට හිමිව තිබෙන නියෝජන අඩුකිරීම,වැඩිකිරීම
5. කුඩා එහෙත් විසිරුණු ඡන්ද පදනමක් ඇති පක්ෂවලට ඇති නියෝජනය අඩුනොවීම
6. සරල මැතිවරණ ක‍්‍රමයක් වීම
7. පවත්නා ක‍්‍රමයේ හඳුනාගත් මූලික අඩුපාඩුවලට විසඳුම් ලැබීම
8. රට දේශපාලන වශයෙන් අස්ථාවර නොවන මැතිවරණ ක‍්‍රමයක්වීම (ශක්තිමත් ආණ්ඩුවක් හා ප‍්‍රබල විපක්ෂයක්)
9. ජනතාවගේ කැමැත්ත මැනැවින් පිළිබිඹු කරන මැතිවරණ ක‍්‍රමයක්වීම

මෙම කරුණු අතරින් පළමු කරුණත් 6 හා 9 වැනි කරුණුත් ජනතා කැමැත්ත ලබාගැනීම සඳහා වැදගත් වන අතර සෙසු කරුණු දේශපාලන පක්ෂවල එකඟතාවය ලබාගැනීම සඳහා වැදගත් වනු ඇත. එබැවින් නව මැතිවරණ ක‍්‍රමය කුමක් වුවද ඉහත සඳහන් කරුණු සලකාබලා සකස්විය යුතුය.

මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයකදී තවදුරටත් සලකාබැලිය යුතු කරුණු රාශියකි.

1. මැතිවරණ කැලන්ඩරයක්
2. ප‍්‍රචාරක වියදම් සීමාකිරීම
3. විද්‍යුත් මැතිවරණ ක‍්‍රමයක්
4. මැතිවරණ දිනයේදී ඡන්ද පොළට යා නොහැකි ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීම සඳහා (Advanced Voting) ක්‍රමවේදයක්
-රට තුළ සිටින
-විදේශගතව සිටින
5. ඡන්ද ලියාපදිංචිය, උපත් ලියාපදිංචිය සමග
6. රාජ්‍ය සම්පත් හා බලය භාවිතය වැලැක්වීමට විධිමත් ක‍්‍රමවේදයක්
7. පක්ෂ මාරුකිරීම වැලැක්වීමට අවශ්‍ය නීති
8. සාධාරණ මාධ්‍යය භාවිතයක් සඳහා සුදුසු ක‍්‍රමවේදයක්
9. විශේෂ අවශ්‍යතා සහිත පිරිස් සඳහා පහසුවෙන් ඡන්දය භාවිතා කිරීමට ක්‍රමවේදයක්

මැතිවරණ කැලන්ඩයරක්

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක‍්‍රමය අනුව වසර 6ක් ඇතුළත් මැතිවරණ 4ක් පැවැත්විය යුතුය. (ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන)

පසුගිය දශක දෙක තුළ බොහෝ වසර වල මැතිවරණ පවත්වා ඇත. විශේෂයෙන්ම පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කඩින් කඩ කොටස් වශයෙන් පවත්වා ඇත. බලයේ සිටින ආණ්ඩුවලට වාසිදායක අයුරින් මෙය සිදුවී ඇත. වාසනාවකට ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ එසේ කොටස් වශයෙන් පැවැත්විය නොහැක. මෙසේ කඩින් කඩ මැතිවරණ පැවැත්වීම මගින් මැතිවරණයක මූලික හරය වන ජනමතය විකෘති වේ. විශාල මුදල් නාස්තියක්ද සිදුවේ. ජාතික මැතිවරණයකදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ වියදම පමණක් රුපියල් මිලියන 3000 ක් 4000 ක් පමණ වේ. එමෙන්ම එක මැතිවරණයකදී ඡන්දදායකයා ශ‍්‍රමිකයෙකු ලෙස වැඩකරනා පැය මිලියන 120 ක් අපතේ යයි. එක් වසරකට මැතිවරණ දෙකක් පැවැත්වුවහොත් මෙම මුදල් හා කාලය දෙගුණවේ. බරපතලම කරුණ නම් රට තුළ එක් වසරකදී මැතිවරණ දෙකක් පැවැත්වුවහොත් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතු අමාත්‍යවරුන් හා මහජන නියෝජිතයන් වසරෙන් භාගයක් තමන්ගේ ප‍්‍රමුඛ කාර්යය පසෙකලා තම පක්ෂ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරනු ඇත.

එබැවින් මැතිවරණ සංශෝධනයකදී මෙම තත්ත්වය වැලැක්වීමට නම් පාලකයාට අවශ්‍ය පරිදි කොටස් වශයෙන් මැතිවරණ පැවැත්වීම සඳහා ඇති ඉඩකඩ ඇහිරිය යුතුය. එමෙන්ම ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ එකම දිනක පැවැත්වීමටත් පළාත් සභා පළාත් පාලන මැතිවරණ එකම දිනයක පැවැත්වීමටත් අවශ්‍ය නීති සැකසිය යුතුය. මේ සඳහා අවශ්‍ය ආදර්ශ ඕනෑ තරම් ගත හැකිය. අවශ්‍ය වන්නේ මැතිවරණ පැවැත්වීමේ කාලරාමුව නීතිමය වශයෙන්ම ඇතිකිරීමයි. ඒ අනුව මැතිවරණ කොමිසමට අදාල දිනය තීන්දු කල හැකි වනු ඇත.

ප‍්‍රචාරක කටයුතු සීමාකිරීම

ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය පිළිබඳව එල්ලවන විවේචන බොහෝමයකට පදනම නොඑසේනම් හේතුව වී ඇත්තේ මැතිවරණවලදී සමහර අපේක්ෂකයක් කරනු ලබන අතිවිශාල වියදම හා ඒ හරහා පැනනැගෙන වෙනත් ගැටලූ හේතුවෙනි. මෙම තත්ත්වය වැලැක්වීම සඳහා පහසුවෙන්ම කලහැකි පිළියම වනුයේ මැතිවරණ වියදම සීමාකිරීමය. එය ලෝකයේ බොහෝ රටවල්වල ක‍්‍රියාත්මක වේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථික, සමාජයයීය පරිසරයට බොහෝසෙයින්ම සමාන බංගලාදේශයේ අපේක්ෂකයෙකුට වියදම් කල හැකි උපරිම මුදල වනුයේ ඔහු නියෝජනය කරන කොට්ඨාශයේ ජනගහනයට සාපේක්ෂ මුදලකි. එය බංගලාදේශයේ ඡන්දදායකයෙකුට ටකා 5 කි. එම උදාහරණය ලංකාවට අනුගත කලහොත් ලංකාවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්දදායක ප‍්‍රමාණය ලක්ෂ 10 ක් නම් එක් ඡන්දදායකයෙකුට රුපියල් 50 ලෙස තීන්දු කලහොත් අපේක්ෂකයෙකුට කලහැකි උපරිම වියදම ලක්ෂ 50 කි. මේ සඳහා සෑම අපේක්ෂකයෙකුටම මැතිවරණයට පෙර වෙනම ගිණුමක් විවෘත කිරීමට නියම කල යුතුය. ඔහුට ලැබෙන සියලූ ආධාර එම ගිණුමට යායුතු අතර සියලූ මැතිවරණ වියදම් එම ගිණුමෙන් සිදුකර මැතිවරණය අවසානයේ විගණන වාර්තාවක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ක‍්‍රමවේදයක් සැකසිය යුතුය. එසේම නිවැරදි තොරතුරක් ලබානොදෙන අපේක්ෂකයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි වන නීති සැකසිය යුතුය.

පෝස්ටර් කටවුට් මැතිවරණ කොමිසමෙන්

පෝස්ටර් කටවුට් මැතිවරණ කොමිසම හරහා මුද්‍රණය කරන ක‍්‍රමයක් සැකසිය යුතුය. අපේක්ෂකයෙකු කල යුතු වන්නේ තමාගේ අදහස කොමිසමට ලබාදීම පමණි. එවිට එක සමාන ප‍්‍රමාණයෙන් එක සමාන වර්ණයෙන් නිශ්චිත පෝස්ටර් ප‍්‍රමාණයක් සෑම අපේක්ෂකයෙකුටම ලැබෙනු ඇත. එමෙන්ම පෝස්ටර් ප‍්‍රදර්ශනය සඳහා නිශ්චිත ස්ථාන වෙන්කල යුතුව ඇත. එමෙන්ම එම ප‍්‍රදර්ශන පුවරු ආරක්ෂා කිරීමටද වැඩපිළිවෙලක් අවශ්‍ය වනු ඇත. නොඑසේනම් එකී නීතිය වෙනස්කර වෙනත් ක‍්‍රමයකට යායුතුය.

ඡන්දදායකයාට ලබාදෙන අල්ලස් වැලැක්වීමට දැඩි නීති පැනවිය යුතු අතර අල්ලස් ලබාගන්නා පුද්ගලයන්ටද ඡන්ද අයිතිය අහිමි කල යුතුව ඇත. ලැබූ දේ මෙන් දස ගුණයක වටිනාකමක් ආපසු ගෙවීමට වන අයුරින් නීති සැකසීම කලහොත් යම් තරමකට පාලනය වනු ඇත.

විදයුත් මැතිවරණ ක්‍රමයක්

ලෝකයේ බොහෝ රටවල් විද්‍යුත් මැතිවරණ ක්‍රම හඳුන්වාදීම සඳහා බලපෑ හේතු ගණනාවකි.

1. කඩිනමින් ප්‍රතිඵල ලබාදීම,
2. ජනතා විශ්වාසය තහවුරු වීම,
3. වියදම් අවම මට්ටමකට ගෙන ඒම,
4. කළමණාකරනය පහසු වීම,
මෙම කරුණු ශ්‍රී ලංකාව අරභයා සළකා බැලූවහොත් පළමු කරුණු දෙක අදාල නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ ඕනෑම මැතිවරණයක ප්‍රථිපල මැතිවරණය අවසන් වී පැය 24 ක් යාමට පෙර නිකුත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. එමෙන්ම විද්‍යුත් ගණනය කිරීම් පිළිබඳ ජනතාවගේ විශ්වාසය ඉතා අවම මට්ටමක පවතී. එහෙත් විද්‍යුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවහොත් එය කළමනාකරණය ඉතා පහසු වනු ඇත. එමෙන්ම මූලික වියදම දැරීමෙන් අනතුරුව මැතිවරණ සඳහා යන විශාල වියදමක් ඉතිරි කරගත හැකි වනු ඇත. නෝර්වේ වැනි රටක පරිගණකය සහ එක් නිලධාරියෙකු සිටීමෙන් පමණක් මැතිවරණය මෙහෙය විය හැක. එමෙන්ම විද්‍යුත් ක්‍රමයක් හරහා විශාල ලෙස පරිසර ආරක්ෂා කිරීමක් සිදුවේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යොදන කඩදාසි සඳහා විනාශ කිරීමට සිදුවන දහස් ගණනක ශාක ආරක්ෂා වේ. එමෙන්ම අප සකස් කරන මැතිවරණ ක්‍රමය ඉදිරි වසර 50 කවත් සිදුවන තාක්ෂණික දියුණුවද සළකා බලා කළ යුතුය. එහෙත් විද්‍යුත් ක්‍රමයකට යාමට පෙර ඒ සඳහා ජනතා ආකල්ප වෙනස් කිරීම අනිවාර්යෙන් කළ යුතුව ඇත.

Advanced Voting ක්‍රමවේදයක්

ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී ඡන්දය භාවිතා කිරීමට අපහසු වන කණ්ඩායම් දෙකක් තිබේ.
1. රට තුළ අත්‍යවශ්‍ය සේවා වල සිටින හා ප්‍රායෝගික දුෂ්කරතා ඇති පිරිස්.
2. තාවකාලික විදේශගතව සිිටින පිරිස්

මෙම කොට්ඨාශ දෙක අතරින් රටතුළ සිටින එහෙත් මැතිවරණ දිනයේ ඡන්ද පොලට යා නොහැකි, පිරිස් සඳහා (උදා – හෙදියන්, වෛද්‍යවරුන්, රෝගීන්, බන්ධනාගාර ගතවූවන්, මැතිවරණ නිරීක්ෂකයන්) ඡන්දය භාවිතා කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය.

දකුණු කොරියාවේ වැනි රටක ධීවරයන්ට පවා මුහුදේ සිට ඡන්දය භාවිතා කිරීමට පහසුකම් සලසා ඇත. ඇෆ්ගනස්තානය වැනි නොමේරූ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටක පවා බන්ධනාගාර රැඳවියන්ට ඡන්දය භාවිතා කිරීමට ජංගම ඡන්ද පොළක් හඳුන්වා දී ඇත. එබැවින් අඩුතරමින් රටතුළ සිටින එවැනි ඡන්ද දායකයන්ට ජාතික මැතිවරණ වලදීවත් ඡන්දය භාවිතා කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතුව .

විදේශගත පිරිසට ඡන්දය භාවිතා කිරීමට ඉඩකඩ ලබාදීමේදී ප්‍රයෝගික ගැටළු පැන නැගිය හැක. අපගේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය පුහුණු ශ්‍රමිකයන් නොවන ගෘහ සේවයට සම්බන්ධ පිරිස් වන බැවින් ඔවුන්ට ක්‍රමවේදයක් සැකසීම අසීරු වනු ඇත. එහෙත් ඔවුන්ගේ අයිතිය අවම වශයෙන් පිළිගත යුතුව ඇත. විදේශ තානාපති සේවයට සම්බන්ධ පිරිස් සඳහා ඡන්ද පහසුකම ලබාදීම පළමු පියවර තුළදීම කළ හැකි වනු ඇත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී අප, ලංකාව තුළ පවත්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් ද, අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයක්ද යන්න සළකා බැලීම අතිශය වැදගත් වේ. එහිදී යෝජනා කරනු ලබන ක්‍රමය ස්ථාවර ආණ්ඩුවක් ඇති කර ගැනීමටත් ප්‍රබල විපක්ෂයක් පවත්වා ගැනීමටත් හැකි ක්‍රමයක් විය යුතුය.
මෙම කරුණු සළකා බැලීමේදී මාගේ පුද්ගලික අදහස වනුයේ කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් ලබාදිය හැකි ක්‍රමයක් සකස් කරගත හැකි නම් පවතින කමයේ මූලික හරය ආරක්ෂා කර ගනිමින් අවශ්‍ය සංශෝධන සිදු කර, වඩා ජනතාවාදී මැතිවරණ ක්‍රමයක් සකසා ගත හැකි බවය. එමෙන්ම ඡන්ද දායකයාට තම පක්ෂත් අපේක්ෂකයාත් දෙදෙනාම තෝරාගත හැකි ක්‍රමයකට යා යුතු බවය.

Rohana-Hettiරෝහණ හෙට්ටිආරච්චි
rohana.paffrel@email.com

LEAVE A REPLY