අපේක්ෂකයින් පස්දෙනෙක් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙති

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තරඟ වැද සිටින අපේක්ෂකයින් කිහිපදෙනෙකු අද (21) මාර්තු 12 ව්‍යාපාරය වෙත සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදුන්හත.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආශු මාරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සමගි බලවේගයේ අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සමගි බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක මයිල්වාගනම් තිලකරාජ්, හිටපු පළාත් සභා මන්ත්‍රී ජාතික සමගි බලවේගයේ අපේක්ෂක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 12 ව්‍යාපාරය වෙත බාරදෙනු ලැබීය. එමෙන්ම හිටපු පා.ම ආශු මාරසිංහ මහතා විසින් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට එක්ව සිටින ආචාර්ය චරිත් ගිරාගම වෑගඩපොල මහතාගේත් මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂිකා නීතීඥ චතුරිකා ජයතිලක මහත්මියගේත් වත්කම් බැරකම් ප්‍රකාශ මාර්තු 12 ව්‍යාපාරය වෙත බාරදෙනු ලැබීය.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදීද මාර්තු 12 ව්‍යාපාරය විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් මහජන නියෝජිතයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නීති ප්‍රතිපත්ති සම්පාදනයට සුදුස්සෙක් බව පෙන්වීමට මෙන්ම තමන් අල්ලසින් දූෂණයෙන් තොර පුද්ගලයෙකු බවට සමාජයට නිරාවරණය කිරීමට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම තුළින් හැකියාවක් ඇති බව පෙන්වාදුන්නේය.

එසේ ප්‍රසිද්ධ කරනු ලබන වත්කම් බැරකම් ප්‍රකාශ සමාජගත කිරීමට සූදානම් බවත් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන අපේක්ෂකයින් ජනතාව ඉදිරියට ගෙනයාමටත් ඔවුන් අගය කිරීමටත් මාර්තු 12 ව්‍යාපාරය කටයුතු කරන බවත් අපේක්ෂකයින්ට තමන් විනිවිදභාවයකින් යුත් පුද්ගලයින් බවට සමාජය හමුවේ නිරාවරණය කරගැනීමට වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම තුළින් හැකියාවක් ලැබෙන බවත් මාර්තු 12 ව්‍යාපාරය එහිදී සඳහන්කොට සිටියේය.

එම ඉල්ලීම අනුව යමින් දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින්ගෙන් මේ වන විටත් මාර්තු 12 ව්‍යාපාරය වෙත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලැබෙමින් පවතින අතර පක්ෂ කිහිපයක අපේක්ෂකයින් කණ්ඩායමක් වශයෙන් මාර්තු 12 ව්‍යාපාරය වෙත වත්කම් බැරකම් ප්‍රකාශ අද බාරදෙනු ලැබුවේ පළමුවරටය.

මෙහිදී එම අවස්ථාවට එක්වූ මන්ත්‍රීවරුන් පවසා සිටියේ මාර්තු 12 ව්‍යාපාරය විසින් අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනගත කිරීමට තීරණය කිරීම ඉතාම වැදගත් හා කාලෝචිත එකක් බවයි.

මේ අතර තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වීමෙන් පසු මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක වලට අනුකූලව කටයුතු කරන බවට තහවුරු කරමින් ඔවුහු ලියවිල්ලකටද අත්සන් තැබූහ.