පිරිසිදු දේශපාලන සංස්කෘතියක් යන මාතෘකාවට බොහෝ දෙනෙක් බිය වුණා

මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර කිසිවකුත් දියුණු හා පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සම්බන්ධයෙන් කතාකිරීමට මැලිවූ බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

සමාලෝචනය කරන ලද නිර්ණායක ජනගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම උදෙසා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක මහතා මේ බව පැවසීය.

ගතවූ වසර පහක කාලය තුළදී මාර්තු 12 ව්‍යාපාරය විසින් 2015 මාර්තු මස 12 වන දින එළිදැක්වූ නිර්ණායක 8 වෙත ජනතාව ආශක්ත කරගැනීමට සමත්ව ඇති බවත් දේශපාලන පක්ෂ පවා අඩු වැඩි වශයෙන් ඒ වෙත යොමුකරගන්නට සමත්වූ බවත් ගජනායක මහතා එහිදී පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන්කොට සිටියේ 2015 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ක්‍රියාවලියේදී චෝදනා ලත් දූෂිත යැයි සමාජය විසින් පිළිගන්නා ලද යම් පිරිසකට නාමයෝජනා ලබාදීමේ වරම අහිමි කරන්නට දේශපාලන පක්ෂ පවා ක්‍රියා කල බවයි.

එමෙන්ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා රටෙහි පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරීමෙහිලා උත්සාහ ගනිමින් සිටින බවත් රට තුළ දේශපාලන සංස්කෘතිය යහපත් කිරීම උදෙසා බොහෝ පිරිසකගේ උනන්දුවක් පවතින බවත් වෘත්තීයවේදීන් දේශපාලන ක්ෂේත්‍රය උදෙසා අවතීර්ණ විය යුතු බවටද හඞක් රට තුළ පැනනැගෙමින් ඇති බවයි ගජනායක මහතා සඳහන්කොට සිටියේ.

එහිදී අදහස් දැක්වූ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික නිශාන්ත ප්‍රීතිරාජ් මහතා පෙන්වාදුන්නේ අලුත් පාර්ලිමේන්තුව පිරිසිදු දේශපාලන සංස්කෘතියකින් යුක්ත විය යුතු බවයි. එමෙන්ම අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එක්වීම පමණක්ම ප්‍රමාණවත් නොවන බවත් පාර්ලිමේන්තුවේ මුඛ්‍ය කාර්යභාරය වන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා සාධාරණ වශයෙන් හවුල් විය හැකි මහජන නියෝජිතයින් පත්කර එවීම සම්බන්ධයෙන් මේ වන විට ජනතාව අතර කතිකාවතක් ඇතිව තිබෙන බවද නිශාන්ත ප්‍රීතිරාජ් මහතා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ මෙහෙයුම් කමිටු සාමාජිකා සාමදානි කිරිවන්දෙනිය මහත්මිය පෙන්වාදුන්නේ රටේ දේශපාලන සංස්කෘතිය විශාල සෝදාපාලුවකට ලක්ව ඇති බවයි. එවන් පසුබිමක් යටතේදී එළඹ ඇති පාර්ලිමේන්තු මැතිවරණය වඩාත් තීරණාත්මක එකක් බවත් රටේ දේශපාලන සංස්කෘතිය යහපත් එකක් බවට පත්කරගැනීමට හෝ පවතින පරිහානිය අවම කරගැනීමට මෙම මැතිවරණයේදී පුරවැසියා කටයුතු කල යුතු බවද ඇය එහිදී පැවසීය.

තවද සමාජ ව්‍යාපාරයක් වශයෙන් මාර්තු 12 ව්‍යාපාරයේ එකම අභිලාෂය වන්නේ දේශපාලන සංස්කෘතිය නිවැරදි මාවතකට යොමුකරවාගැනීම බවත් ඒ සඳහා මාර්තු 12 ව්‍යාපාරය හා අත්වැල් බැඳගන්නා ලෙසට ජනතාවගේ ඉල්ලා සිටින බවද කිරිවන්දෙනිය මහත්මිය පැවසීය.

එහිදී අදහස් දැක්වූ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ 2015 මාර්තු මස 12 වන දින එළිදැක්වූ නිර්ණායක නැවත සමාලෝචනය විය යුතු බවටත් නව නිර්ණායක ඇතුළත් විය යුතු බවටත් සමාජය තුළ කතිකාවතක් ඇතිව තිබූ බවයි. ඒ අනුව මාර්තු 12 ව්‍යාපාරය විසින් ගතවූ වසරක පමණ කාලය මුලුල්ලේම දිවයින ආවරණය වන පරිදි ආගමික නායකයින්, ජනතාව, දේශපාලන පක්ෂ, විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව, කලාකරුවන් ආදී ක්ෂේත්‍ර ගණනාවක පිරිස් සමගින් සාකච්ඡා පැවැත්වූ බවත් ඒ අනුව නව නිර්ණායක කිහිපයක් මාර්තු 12 ව්‍යාපාරයේ නව නිර්ණායක සඳහා එකතුව ඇති බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේ.

එම නිර්ණායක එළිදැක්වීමේ අවස්ථාව සඳහා එඹෙන මාර්තු මස 12 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට එක්වන ලෙසට රටේ සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කොට ඇති බවත් පාර්ලිමේන්තු, පළාත් සභා හෝ පළාත් පාලන නියෝජනයක් දරණ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ට හා ලේකම්වරුන්ටද ඒ සඳහා ආරාධනා කොට ඇති බවත් මේ සඳහා අත්වැල් බැඳගන්නා ලෙසට නැවත වරක් ඉල්ලා සිටින බවයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන්කොට සිටියේ.

පිරිසිදු දේශපාලනයක් සඳහා දේශපාලන නායකයින්ට ඇති කැපවීම පිළිබිඹු කල හැකි හොඳම අවස්ථාවක් මාර්තු 12 වනදා උදාවන බවත් එහිදී හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

මෙම මාධ්‍ය හමුව සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් නීතීඥ ප්‍රබෝධ රත්නායක, සමන් හමන්ගොඩ, මංජුල ගජනායක, විමල් ප්‍රනාන්දු, ලක්විජය බණ්ඩාර, නීතීඥ ජගත් ලියනාරච්චි, රෝහණ හෙට්ටිආරච්චි හා සාමදානි කිරිවන්දෙනිය යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.