මාර්තු 12 ව්‍යාපාරය අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි

මාර්තු 12 ව්‍යාපාරය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේදී පැවැත්වින.

කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර එහිදී මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකයාද වන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ රට පිළිබඳ පුලුල් ඉදිරි දැක්මක් සහිත අයවලුන්ට පමණක් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා ලබාදෙන ලෙසයි.

එමෙන්ම අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී මාර්තු 12 ව්‍යාපාරය විසින් සමාජගතකොට ඇති නිර්ණායක සලකා බලන ලෙසත් පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුව හරහා නැවත පාර්ලිමේන්තුවට පත්වීම වැලැක්වීමට කටයුතු කරන ලෙසත් ආචාරධර්මී මැතිවරණ ව්‍යාපාරයක නිරතවීමට අපේක්ෂකයින් දිරිමත් කරන ලෙසත් මාර්තු 12 ව්‍යාපාරය අග්‍රමාත්‍යතුමන්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අග්‍රාමාත්‍යතුමන් මාර්තු 12 ව්‍යාපාරය පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් දරණ වෑයම අගය කල අතර සිය සන්ධානය හරහා ඉදිරිපත් කරන අපේක්ෂකයින්ට අදාලව මාර්තු 12 ව්‍යාපාරයේ යෝජනා සලකා බැලීමට කටයුතු කරන බවද පැවසීය.

LEAVE A REPLY