පිරිසිදු දේශපාලනඥයින් බිහිකරගැනීම වගකීම පාර්ශව තුනක් මත?

පිරිසිදු දේශපාලනඥයෙක් බිහිකරගැනීමේ වගකීම පාර්ශව තුනක් මත රඳා පවතින බව පිරිසිදු දේශපාලනයක් සඳහාවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය පවසයි.

එම සාමූහිකය නියෝජනය කරන මාතලේ දිස්ත්‍රික් පා.ම රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය මේ බව සඳහන්කොට සිටියේ පිරිසිදු දේශපාලනයක් සඳහාවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලද මාධ්‍යය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරිය පෙන්වාදුන්නේ දේශපාලන පක්ෂ නායකයින්, දේශපාලනඥයින් හා ජනතාව යන තෙපාර්ශවයටම පිරිසිදු දේශපාලනඥයින් බිහිකරගැනීමේ වගකීම පවතින බවයි. අට වන පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරය බොහෝ විට අද විය හැකි බැවින් රටේත් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් වගවිය හැකි දේශපාලනඥයින් බිහිකරගැනීමේ දුරස්ථ පාලකය ජනතාව අතට තවත් නොබෝ දිනකින්ම පත්විය හැකි බවද ඇය එහිදී පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ ගාල්ල දිස්ත්‍රික් පා.ම චන්දිම වීරක්කොඩි මහතා පෙන්වාදුන්නේ මාර්තු 12 ව්‍යාපාරය රටේ දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් ඇතිකරලීමෙහිලා සාධනීය කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පවා මාර්තු 12 ව්‍යාපාරය විසින් ඉදිරිපත් කල නිර්ණායක තුළින් ඉමහත් බලපෑමක් එල්ලවූ බවත් ඒ ඔස්සේ වැඩි ඡන්ද වලින් ජයග්‍රහණය කල හැකි ඇතැම් පුද්ගලයින් පවා නාමයෝජනා මණ්ඩලවලදී කැපීගිය බවත් වීරක්කොඩි මහතා පැවසීය.

එමෙන්ම ප්‍රතිපත්තිමය දේශපාලනයක් වෙනුවෙන් කැපවීමේදී දේශපාලන පක්ෂ විසින් එම පක්ෂවලට සම්බන්ධ කරගනු ලබන පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව තක්සේරුවකට පැමිණිය යුතු බවත් අපේක්ෂකයින් තේරීමේදී ප්‍රමිතීන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර යම් අවබෝධයක් පැවතිය යුතු බවත් චන්දිම වීරක්කොඩි මහතා එහිදී පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ සියලුම මන්ත්‍රීවරුන් පෙන්වාදුන්නේ තමන් පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් කැපවී සිටින බවත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව පිරිසිදු දේශපාලඥයින් පාර්ලිමේන්තුවට පත්කර එවීම තුළින් රටේ දේශපාලන ක්ෂේත්‍රය පමණක් නොව සමස්ත රටම වඩාත් යහපත් තැනක් බවට පත්කරත හැකි බවත්ය.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, පා.ම විදුර වික්‍රමනායක, පා.ම තාරක බාලසූරිය, පා.ම මයන්ත දිසානායක, පා.ම මයිල්වාගනම් තිලකරාජ්, පා.ම ආශු මාරසිංහ, පා.ම බන්දුලාල් බණ්ඩාරිගොඩ, පා.ම සුජිත් සංජය පෙරේරා, පා.ම එඩ්වඩ් ගුණසේකර, පා.ම සන්දිත් සමරසිංහ, පා.ම තුසිතා විජේනායක යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.

LEAVE A REPLY