ඉදිරි වසර පහේදී දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක් අපේක්ෂා කරනවා – මාර්තු 12 ව්‍යාපාරය

නව ජනාධිපතිතුමන්ගේ වසර පහක ධූර කාලය තුළදී දේශපාලන සංස්කෘතියේ යම් සාධනීය වෙනස්කම් සිදුකිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසු ගතව ඇති කෙටි කාලය තුළදී ගෙන ඇති පියවරයන්ගෙන් එය මනාව පිළිබිඹු වන බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් පසු වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය 04 වනදා කොළඹදී පැවති මාධ්‍යය හමුවකදී මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය.

හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ සාම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවූ අයෙකු වශයෙන් ධූරයට පත්වූ වර්තමාන ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය අඩුකිරීම ඇතුළු සාධනීය කාර්යයන් කිහිපයක්ම සිදුකොට ඇති බවයි.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්ම පවතින බවත් ඉදිරි මහා මැතිවරණයකින් පසුව දේශපාලන සංස්කෘතියේ වඩාත් වෙනස්වනු ඇති බවට විශ්වාස කරන බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී සඳහන් කලේය.

එමෙන්ම විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යවරුන් පත්කිරීමේ අවශ්‍යතාවය මෙන්ම චෝදනාවන් වලට නැතහොත් බරපතල සමාජ විරෝධයන්ට ලක්නොවූ පිරිස් පත්නොකිරීමටද ඉදිරි මහා මැතිවරණයෙන් පසු වගබලාගතයුතුව ඇති බවද එහිදී හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේය.

එම මාධ්‍යය හමුවට එක්වූ මෙහෙයුම් කමිටු සාමාජික සමන් හමංගොඩ මහතා පෙන්වාදුන්නේ මැතිවරණ විටින් විට පැවැත්වූවද දේශපාලන පක්ෂවලින් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කලද එම ප්‍රතිපත්ති ප්‍රකාශන කිසිදු අවස්ථාවක කිසිදු පාර්ශවයක් විසින් සමාලෝචනය සිදුනොකිරීම කණගාටුවට කරුණක් බවයි.

එම තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය දායකත්වය ලබාදීමට තීරණය කොට ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය වන ඔස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පරිශීලනය කොට විශ්ලේෂනය කිරීමට හැකියාව පවතින බවත් හමංගොඩ මහතා පෙන්වාදුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක මහතා පෙන්වාදුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ධූර කාලය ආරම්භයේදීම යහපත් ලක්ෂණ ගණනාවක්ම එතුමන් විසින් පෙන්නුම්කොට ඇති බවයි.

එම යහපත් ලක්ෂණ අඛණ්ඩය ක්‍රියාවට නැංවෙනු ඇති බවට මාර්තු 12 ව්‍යාපාරයේ විශ්වාසය වන බවත් එතුමන්ට සුබපැතීමටද මෙය අවස්ථාවක් කරගන්නා බවත් ගජනායක මහතා එහිදී පවසා සිටියේය.

එමෙන්ම භාෂණයේ නිදහස තහවුරු කිරීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය දිගින් දිගටම පෙනී සිටින බවත් පසුගිය ආණ්ඩුවලින් අඩු වැඩි වශයෙන් සීමාවී තිබූ ලිවීමේ හා කියවීමේ නිදහස චකිතයකින් තොරව සැකයකින් තොරව තහවුරු කිරීමට ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුවට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ගජනායක මහතා පැවසීය.

LEAVE A REPLY